දූෂණ විරෝධී පනත් කෙටුම්පත එරෙහි පෙත්සම් විභාගය අවසන්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කරමින්, එහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථානායකවරයාට සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්තැම්බර් 4) නිවේදනය කර තිබේ.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 15 ක් ගොනු කර තිබූ අතර, ඒවා දින දෙකක් ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග විය.

අද දින වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ලිඛිත දේශන තිබේ නම් ඒවා සඳුදා පස්වරු 12.00 ට පෙර ගොනු කරන ලෙස පාර්ශ්වකරුවන්ට දැනුම්දී ඇත.

ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරියේ දී යොමු කරන බවද විනිසුරු මඩුල්ල නිවේදනය කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, මීඩියා ලෝ ෆෝරම්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශ්ව 15 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම්වලින් සඳහන් කර තිබුණේ මෙම සංශෝධිත පනත් කෙටුම්පත තුළින් අධිකරණ බලය කප්පාදු වීම මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් නොව, ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading