නාමල් කරපුවා ගැන නාමල්ම දන්නවා! අත්අඩංගුවට ගනී කියලා බයවෙලා ඉන්න එක සාධාරණයි – නලින්ද ජයතිස්ස

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිදුකළ වැරදි පිළිබඳව වඩාත්ම හොඳින් දන්නේ ඔහුම බවත් තමන් කළ වැරදි ගැන දන්නා කෙනෙකු ඕනෑම මොහොතක අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් පසුවීම සාධාරණ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතා සිදුකර ඇති සියලු වැරදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෝ අල්ලස් කොමිසම තවමත් සම්පූර්ණයෙන්ම අනාවරණය කරගෙන නොමැති විය හැකි බවයි.

ඕනෑම වරදක් සිදුකළ පුද්ගලයෙකු තමන් එම වරද කෙතරම් ගැඹුරට සහ විශාලව සිදුකර ඇත්දැයි දන්නා බවත් විමර්ශන නිලධාරීන් සාක්ෂි මත පදනම්ව එම වැරදි එකින් එක අනාවරණය කරගනිමින් සිටින විට ඕනෑම මොහොතක තමන්ව අත්අඩංගුවට ගනීවි යැයි බියෙන් පසුවීම සාමාන්‍ය දෙයක් බවත් නලින්ද ජයතිස්ස මහතා එහිදී කියා සිටියා.

එළඹෙන 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත රැලිය සහ එහි සෙනඟ දැක බියවී නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවට පළවන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, දින ඉලක්ක කරමින් හෝ ජනකාය දැක බියවී කිසිවෙකු අත්අඩංගුවට ගැනීමේ පුරුද්දක් රජයට නොමැති බව සඳහන් කළා.

අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ අධිකරණයට ඉදිරිපත් වන සාක්ෂි සහ වාර්තා මත පමණක් බව පෙන්වා දුන් ඔහු, යම් හෙයකින් එදිනට නීතිය ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගනී යැයි බියක් ඇත්නම් කළ යුතුව තිබුණේ ඊට පෙර එම රැලිය පවත්වා අවසන් කිරීම බවද පැවසුවා.

සොරකම් හෝ වැරදි සිදුකර ඇත්නම් ඊට අනිවාර්යයෙන්ම විඳවීමට සහ දඬුවම් ලැබීමට සිදුවන බවත් නීතියෙන් පලා නොගොස් නීතිය හමුවට පැමිණ ඊට මුහුණ දිය යුතු බවත් නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මේ අතර විපක්ෂ නායකවරයා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන මන්ත්‍රයක් ලෙස හඳුන්වන පසුබිමක, ඊට අදාළ සියලු පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවසන්ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

පවතින නීතියට අනුව ඉදිරි සති තුන ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇති අතර ඒ අනුව ක්‍රියාකිරීමට රජය සූදානම් බව ඔහු පැවසුවා..

රජය විසින් මෙම සංශෝධන කෙටුම්පත් කිරීමේදී ජනමත විචාරණයකට තුඩුදෙන කිසිදු වගන්තියකට අත නොතැබූ බවත් එබැවින් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව රජයේ ස්ථාවරය වුවද, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයක් අවශ්‍ය යැයි නියෝග කළහොත් ඊට මුහුණ දීමටද ආණ්ඩුව සම්පූර්ණයෙන්ම සූදානම් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading