පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අදාළ විමර්ශන සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් පිරිසක් අද (03) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා..
අදාළ නිලධාරීන් අල්ලස් කොමිසම වෙත පැමිණ ඇත්තේ එම පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු වෙනුවෙන් කැඳවා තිබූ නිල ලේඛන සහ අදාළ ලිපිගොනු ද රැගෙන බව වාර්තා වුණා.
පාර්ලිමේන්තු පරිපාලනය තුළ සිදුවූ බව කියන අක්‍රමිකතා සහ පරිපාලනමය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය මහලේකම්වරයා විසින් අල්ලස් කොමිසම වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඊට අදාළ මූලික විමර්ශනවල කොටසක් ලෙස අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් මෙම කරුණු විමසීම සහ අදාළ ලේඛන පරීක්ෂා කිරීම ආරම්භ කරනු ඇති.
මීට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ නීතිඥ චමින්ද කුලරත්න මහතා, 2023 සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ධුරයට පත් කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිවයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සමඟ පැවති පරිපාලනමය ගැටලු සහ එකඟ නොවීම් මධ්‍යයේ කිසිදු සාධාරණ මූලික විමර්ශනයකින් තොරව හදිසියේම ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගැනුණු අතර, අනතුරුව 2026 පෙබරවාරි 02 වන දින ඔහු වෙත චෝදනා පත්‍රයක් භාරදීමට පාර්ලිමේන්තු පාලනාධිකාරිය කටයුතු කර තිබුණා.
පාර්ලිමේන්තු පරිපාලන කටයුතු, මුදල් ප්‍රතිපාදන භාවිතය, අභ්‍යන්තර බඳවා ගැනීම් සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් නියෝජ්‍ය මහලේකම්වරයා සහ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අතර දීර්ඝ කාලයක සිට මතභේදාත්මක හා විරසක තත්ත්වයක් නිර්මාණය වී තිබුණා.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ ඉහළ පරිපාලනය තුළ සිදුවූ බව කියන මූල්‍ය හා පරිපාලන අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි සහිතව චමින්ද කුලරත්න මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබුණා.
චමින්ද කුලරත්න මහතා සිදුකළ එම දූෂණ විමර්ශන පැමිණිල්ලට අදාළව ඊට අදාළ ලිපි ලේඛන සහ සාක්ෂි ලිපිගොනුද රැගෙන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ උසස් නිලධාරීන් පිරිසක් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ ලබාදීමද එහිදී සිදු වුණා.
නියෝජ්‍ය මහලේකම්වරයා සිය පෙත්සම මඟින් මෙම තනතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත පත්කෙරෙන ඉහළ ව්‍යවස්ථාපිත තනතුරක් වීම හේතුවෙන් කථානායක, මහලේකම්වරිය ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව නියෝජනය කරන සභානායක බිමල් රත්නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු 14 දෙනෙකු වගඋත්තරකරුවන් කර තිබෙනවා.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ ඉහළ පරිපාලනය තුළ සිදුවූ දූෂණ හා අක්‍රමිකතා රැසක් මෙන්ම තමන්ට සේවය කිරීමට බාධා වන අයුරින් සිදු වූ බව කියන අකටයුතුකම් පිළිබඳ ලිඛිත සාක්ෂි සහිතව චමින්ද කුලරත්න මහතා විසින් අල්ලස් කොමිසම වෙත දීර්ඝ පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර එම පැමිණිල්ලේ ඉදිරි විමර්ශන පියවරක් වශයෙන් අද දින පාර්ලිමේන්තු නිලධාරීන් කැඳවා තිබෙනවා.
