කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ සිද්ධියකට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා තිබූ හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්නට කොළඹ මහාධිකරණය හමුවේදී ඊයේ (02) අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.
ඉන් අනතුරුව අදාළ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යොමු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා, විත්තිකාර රාජිත සේනාරත්නට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර චූදිතගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමට නියෝග කරමින් ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවට ඇප කොන්දේසියක්ද පනවා ඇත.
ඒ අනුව විත්තිකාර හිටපු ඇමැතිවරයාගේ පුත් චතුර සේනා රත්න සහ සොහොයුරාගේ පුත් ගයාන් භාෂණ යන අය අධිකරණය හමුවේ ඇප තබා ඇත.
2012 ජූනි 12 වනදා සිට අගෝස්තු 06 වනදා දක්වා කාලය තුළ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර ඒවා වෙළෙඳපොළට අලෙවි කිරීමේ ව්‍යාපෘතිය ‘සී වූ කම්පැනි ලිමිටඩ්’ නමැති කොරියානු සමාගම වෙත පැවරීමට රාජිත සේනාරත්න පියවර ගෙන ඇති බවට චෝදනා එල්ල වේ.
එමෙන්ම අදාළ සමාගම තෝරාගැනීමට මෙන්ම, ඒ සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාව සතු ‘වැලිගොව්වා’ නමැති නෞකාව බදු පදනම මත පවරාදීමටත් එවකට සංස්ථාවේ සභාපතිවරයාට අමාත්‍යවරයා ලෙස අනිසි ලෙස බලපෑම් කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මෙම නඩුවේ විත්ති පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජය ප්‍රේමරත්න මහතා පෙනී සිට ඇත. අල්ලස් පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව එන ‘දූෂණය’ නමැති වරද යටතේ හිටපු අමාත්‍යවරයාට එරෙහිව අධිචෝදනා 5ක් ඉදිරිපත් කර ඇති අතර, මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙසත් ලේඛන 25ක් නඩු භාණ්ඩ ලෙසත් මහාධිකරණය හමුවේ නම් කර තිබේ.
