ගුරුමාරු ක්‍රියාවලිය අර්බූධයක: කයිවාරු ගැහුවට අධ්‍යාපන ලේකම්ට විදුහල්පතිවරුන්ව වත් පාලනය කර ගන්න බෑ…

ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අනුකූලව සිදු කෙරෙන ගුරු මාරුවීම් ක්‍රියාවලිය අධෛර්යමත් කිරීමට සහ අඩපණ කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

බස්නාහිර පළාතේ ජාතික පාසල්වල ස්ථාන මාරුවීම් පිළිබඳ “රන්මඟපාය” බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති මාරු මණ්ඩල රැස්වීමෙන් විරෝධය පළ කර පිටව යමින් ලංකා ගුරු සංගමයේ උප සභාපති අශෝක චන්ද්‍රසේකර ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

අධ්‍යාපන ලේකම්වරයාට ජාතික පාසල්වල විදුහල්පතිවරුන් පාලනය කරගැනීමට නොහැකි වී ඇති බවත්, ඉකුත් වසරේ ස්ථාන මාරුවීම් ලබා දුන් ගුරුවරුන් 300 කට අධික සංඛ්‍යාවක් විදුහල්පතිවරුන් විසින් පෞද්ගලික හිතවත්කම් මත පාසල් තුළ රඳවාගෙන සිටින බවත් හෙතෙම සඳහන් කළේය. මෙසේ මාරුවීම් ලැබූ ගුරුවරුන් ස්ථාන මාරු නොවීම හේතුවෙන් එම පාසල්වලට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අහිංසක ගුරුවරුන්ට මෙන්ම සිසුන්ට ද දැඩි අසාධාරණයක් සිදුවන බව අශෝක චන්ද්‍රසේකර වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ ලොකු ලොකු වෙනස්කම් කරනවා කියලා කයිවාරු ගැහැව්වට අඩුම තරමේ අධ්‍යාපන ලේකම්වරයාට ජාතික පාසල්වල විදුහල්පතිවරු ටික පාලනය කරගන්න බැහැ. මොකද පහුගිය අවුරුද්දේ මාරුවීම් ලබා දුන්න 300 ගාණක් ගුරුවරු විදුහල්පතිවරුන් විසින් බලහත්කාරයෙන් පාසල් තුළ රඳවාගෙන ඉන්නවා ඒ ගුරුවරුන්ගේ තියෙන යම් යම් හිතවත්කම් මත. ඉතින් මේ 300 ගාණ යන්නේ නැති වුණාම ඒ ස්ථානවලට එන්න බලන් ඉන්න අහිංසක අසරණ ගුරුවරුන්ට තමන්ගේ අවස්ථාව අහිමි වෙනවා. ඒ වගේම දරුවන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ පාසල්වල බුක්තිය වගේ බූදලයක් වගේ කරගෙන මේ ගුරුවරු රැඳී ඉන්නවා.

මාරු මණ්ඩල ක්‍රියාවලිය අඩාල කිරීමේ අරමුණින් රැස්වීම් පැවැත්වීම සඳහා අවම පහසුකම්වත් නොමැති ස්ථාන ලබා දී ඇති බවට ද සංගමය චෝදනා කරයි. වායුසමීකරණ යන්ත්‍ර අක්‍රිය, වාතාශ්‍රය පවා නොලැබෙන හෝල් එකක් තුළ පැය අටක පමණ දීර්ඝ කාලයක් රාජකාරි කිරීමට සිදුවීමෙන් නියෝජිතයන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවත්, නිලධාරීන් සූදානම් කරගෙන එන ලැයිස්තුවලට අත්සන් තබන තත්ත්වයකට ගුරු සංගම් පත් කිරීමට උත්සාහ කරන බවත් අශෝක චන්ද්‍රසේකර පැවසීය.

මෙම සියලු අකටයුතුකම් වහාම නතර කර ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අනුව කටයුතු කරන ලෙස බලකරමින් ලංකා ගුරු සංගමය ඊයේ දින රැස්වීමෙන් ඉවත් වී ඇති අතර, පවතින අඩුපාඩු සකස් කර ඉකුත් වසරේ සිට මාරුවීම් ක්‍රියාත්මක නොවී සිටින ගුරුවරුන් යැවීමේ පැහැදිලි ක්‍රමවේදයක් සහිතව ඊළඟ මාරු මණ්ඩල රැස්වීම පත්වන ලෙස අමාත්‍යාංශයට යෝජනා කර සිටියි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading