සලේට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍යද? වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත.

ඒ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් වන නඩුව අද (සැප්තැම්බර් 02) කැඳවූ අවස්ථාවේදීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා විමර්ශන ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබන තුන්වන සැකකාර සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය හා ඔහුට තවදුරටත් නේවාසික ප්‍රතිකාර අවශ්‍යද යන්න පිළිබඳ වාර්තාවක් ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් කැඳවන ලෙසයි. සැකකරු මාස තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව සිටීම හේතුවෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වී ඇති බවත්, එය ඉදිරි විමර්ශනවලට බාධාවක් වී ඇති බවත් රජයේ නීතීඥවරයා පෙන්වා දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබා දිය යුතුද නැද්ද යන්න දක්වන වාර්තාවක් ඉදිරිපත් කිරීමට කොළඹ ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත.

ඉකුත් නඩුවාරයේදී මෙම නඩුවට අතෘප්තිමත් පාර්ශවයක් ලෙස මැදිහත් වීමට ගුවන් හමුදාවේ බලපන්ති ලුතිනන්වරයෙකු බව කියන අජිත් ශාන්ත කුමාර ජයතිලක නැමැත්තා කළ ඉල්ලීම ද මෙහිදී කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, අදාළ නඩුව නැවත සැප්තැම්බර් 15 වනදා කැඳවීමට නියම කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading