12ට කලින් නාමල් ඇතුළට? සාටකය ගලවන්නේ නැති බව නාමල් කියයි

සැප්තැම්බර් 12 වනදා පැවැත්වීමට නියමිත අනුරාධපුර දිස්ත්‍රික් විරෝධතා රැස්වීමට පෙර තමන්ව අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කළ හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, ගමින් ගමට ගොස් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේදී ආණ්ඩුව දැඩි කලබලයකට පත්ව ඇති බවත් මර්දනය තුළින් විපක්ෂයේ හඬ යටපත් කිරීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බවයි.

සැප්තැම්බර් 12 වනදා අනුරාධපුර සල්ගාදු පිටියේදී දැවැන්ත දිස්ත්‍රික් රැස්වීමක් සංවිධානය කර ඇති බව පැවසූ නාමල් රාජපක්ෂ, ඊට විශාල ජනකායක් එක්වන බව දැනී ඇති ආණ්ඩුව එය කඩාකප්පල් කිරීමට තමන්ව ඉලක්ක කරගත හැකි බව සඳහන් කළා.

ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ 88/89 සහ 2022 කාලසීමාවන්හිදී මෙන් මිනීමැරීම්, ගිනිතැබීම් සහ ප්‍රචණ්ඩත්වයෙන් බලය ලබාගන්නා දේශපාලන ක්‍රමවේදයක් තම පක්ෂය සතුව නොමැති බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මේ අතර 22 වන ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුවේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතාවයක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ දැඩි කැපවීම මත ගෙන එන්නක් බව පවසන ඔහු පෙන්වාදෙන්නේ, නීතිඥ සංගමයේ හිටපු ප්‍රබලයෙකු මෙන්ම නීතියේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි වත්මන් අධිකරණ අමාත්‍යවරයා අධිකරණයට මෙවැනි බලපෑමක් එල්ල වන සංශෝධනයකට මැදිහත්වීම නිසා දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවයි.

ඔහු පවසන්නේ, තම වෘත්තීය ගෞරවය රැකගැනීමට තවමත් ප්‍රමාද නොමැති බවයි.

එමෙන්ම බලයට ඒමට පෙර ඉන්ධන මිල රුපියල් 150කින් අඩු කරන බවට පොරොන්දු වුවද, බලයට පත්ව මිල වැඩි කර දැන් ඉතා සුළු මුදලක් අඩු කිරීමෙන් ජනතා ප්‍රශ්න නොවිසඳෙන බව ඔහු කියා සිටියා.

මත්ද්‍රව්‍ය සහිත එක් කන්ටේනරයක් අත්අඩංගුවට පත්වෙද්දී මීට පෙර නිදහස් කෙරුණු බව කියන කන්ටේනර් 323 සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා ඇතුළු ආණ්ඩුව රටට පිළිතුරු දිය යුතු බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

බලය ලබාගැනීමට හෝ රැකගැනීමට මැතිවරණ කාලවලදී ඇඳුම් මාරු කරන නායකයන් තමන් නොවන බව ප්‍රකාශ කළ නාමල් රාජපක්ෂ මහතා, සාටකය සහ රෙද්ද බැනියම ඇතුළු තම පාරම්පරික අනන්‍යතාවය කිසිදු දිනෙක වෙනස් නොකරන බවත් බලයේ සිටියද නොසිටියද ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් වැඩිදුරටත් සඳහන් කළා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading