පසුගිය රජය සමයේ සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා දෙකකට වරදකරු කරමින් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් කොළඹ මහාධිකරණය මඟින් අද නියෝග කර තිබෙනවා.
2014 වසරේදී කොළඹ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාලියට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබාදීම සඳහා ‘ශ්‍රී ලංකන් කේටරින්’ සමාගමට අයත් ගිණුමෙන් රුපියල් 330,000ක මුදලක් වැය කිරීම තුළින් රජයට පාඩු සිදුකිරීම සහ එම නීති විරෝධී ක්‍රියාව සඳහා ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා පෙළඹවීම යන චෝදනා දෙක යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබුණි.
අදාළ චෝදනා දෙකටම විත්තිකරු වරදකරු බවට නිගමනය කළ විනිසුරුවරයා, එක් චෝදනාවකට වසර 7 බැගින් වසර 14ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. කෙසේ වෙතත්, එම සිරදඬුවම් දෙක එකවර ගෙවී යන ලෙස නියෝග කෙරුණු බැවින්, හිටපු අමාත්‍යවරයාට වසර 7ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියෝග කරන ලදී.
අදාළ දඩ මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් අමතරව මාස හයක සිරදඬුවක් පැනවීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.
මෙම නීතිකෘත කැඳවූ අවස්ථාවෙදි හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ශවේන්ද්‍ර ප්‍රනාන්දු ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම හිටපු අමාත්‍යවරයාගෙ දරුවන් මේ මොහොත වන විට විදෙස්ගත වී වාසය කරන බැවින් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ ඔහුගේ භාරයේ සිටින බවත් ඇය රෝගී තත්වයෙන් පෙළෙන බවයි.
ඒ හේතුවෙන් එම කරුණු සලකා බලමින් හිටපු අමාත්‍යවරයාට ලිහිල් දඬුවම් ලබාදෙන ලෙසට ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.
අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරුන් සඳහන් කළේ, පියංකර ජයරත්න මහතා දූෂණය නමැති වරද සිදුකර ඇති නිසා ඔහුට දිය හැකි උපරිම දඬුවම ලබාදෙන ලෙසයි.
වයඹ පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කළ දේශපාලනඥයෙකු වන පියංකර ජයරත්න මහතා, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන රජයන් යටතේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍ය ධුර රැසක් හෙබවූ අයෙක් වනවා.
