යෝෂිතට සහ ඩේසි ෆොරස්ට්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව කල් දැමීමට නියෝග

අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කළ බවට යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව ලබන සැප්තැම්බර් මස 28 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (31) නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබුවා.

එහිදී කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා, මෙම නඩුකරයට අදාළ කරුණක් සම්බන්ධයෙන් විත්ති පාර්ශවය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචනයක් ගොනු කර ඇති බවත් එය සැප්තැම්බර් මස 04 වනදා සලකා බැලීමට නියමිතව ඇති බවත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු නඩුව වෙනත් දිනයක කැඳවන ලෙස රජයේ නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය සැප්තැම්බර් 28 වනදා දක්වා කල් තැබීමට නියෝග කළා.

රුපියල් මිලියන ගණනක් වටිනා ගල්කිස්ස ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සහ බැංකු ගිණුම්වල අනුමත නොකළ විශාල මුදල් තැන්පත් කිරීම මුල් කරගනිමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබුණා.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය ආරම්භ කිරීම සඳහා වැය කළ බව කියන රුපියල් මිලියන සිය ගණනක අරමුදල්වල මූලාශ්‍ර හෙළි නොවීම මුල් කරගනිමින් යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධ මෙම මූල්‍ය වංචා පරීක්ෂණ ආරම්භ වුණා.

2016 වසරේදී මෙම විමර්ශනවලට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා සහ CSN නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙම මුදල් සහ දේපළ උපයාගත් ආකාරය පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කළ අවස්ථාවේදී, යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් ප්‍රකාශ කර තිබුණේ තමන්ට නාඳුනන අයෙකුගෙන් ලැබුණු වටිනා මැණික් මල්ලක් විකිණීමෙන් එම මුදල් උපයාගත් බවයි.

රුපියල් මිලියන ගණනක් වටිනා ගල්කිස්ස මිහිඳු මාවතේ පිහිටි ඉඩමක් සහ සුඛෝපභෝගී නිවසක් ඩේසි ෆොරස්ට්ගේ නමට මිලදී ගෙන තිබුණද, එහි සැබෑ හිමිකරු යෝෂිත රාජපක්ෂ බවට FCID විමර්ශනවලදී අනාවරණය වුණා.

පසුව එම ඉඩම විකිණීම හෝ පැවරීම වළක්වමින් අධිකරණයෙන් තහනම් නියෝගයක්ද පනවනු ලැබුවා.

තමන්ට එරෙහිව පවරා ඇති අධිචෝදනා නිෂ්ප්‍රභ කරන ලෙස සහ නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් විත්ති පාර්ශවය මීට පෙරද අවස්ථා කිහිපයකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් සහ විශේෂ අභියාචනා ගොනු කර තිබුණා.

Author

Related Posts