මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.
ඒ එම නඩුව අද (අගෝස්තු 31) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ නඩුකරයට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති බවත් හා එම ප්‍රතිශෝධන පෙත්සම සැප්තැම්බර් 4 වැනිදා කරුණු තහවුරු කිරීම උදෙසා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවත්ය.
එබැවින් එම නඩු දිනයට පසු දිනයක මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවීමට දිනයක් නියම කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය සනාථ කිරීමට නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ලෙස තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදවල් සිදුකළේ යයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
