ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ආයතනයේ සේවකයින් ලෙස වර්ගීකරණය කරමින් අත්තිකාරම් පුද්ගලික ආදායම් බදු (APIT) අය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන තිබෙන තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද (අගෝස්තු 31) රිට් ආඥාවක් නිකුත් කර ඇත.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අත්කාරම් පුද්ගලික ආදායම් බදු අය කිරීමට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක, ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා, කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තු හා අනුෂ්කා සංජීවනී ගොනුකර තිබූ පෙත්සම්වල තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.
තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් නොවන බවත්, වසර ගණනාවක් තමන්ව ස්වාධීන සේවා සම්පාදකයින් ලෙස හඳුනාගෙන තිබුණ බවත්, බදු අයකර ගැනීමද ස්වාධීන සේවා සම්පාදකයින් සඳහා වන ක්‍රමවේදයට අනුව සිදුවිය යුතු බවත් ක්‍රිකට් ක්‍රීඩ ක්‍රීඩිකාවන් වෙනුවෙන් අධිකරණයේ තර්ක කර ඇත.
දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ එම තීරණය අතීතයට බලපාන පරිදි සිදුකර තිබූ හෙයින් ගිවිසුම්ගත ක්‍රීකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් මාස ගණනාවක් තිස්සේ අත්හිටුවා තිබී ඇත.
