22 ට අදාළව පෙත්සම් ඉදිරිපත් කිරීමේ කාලය හෙටින් අවසන්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව පෙත්සම් ඉදිරිපත් කිරීමේ නීත්‍යනුකූල කාලසීමාව අවසන් වී තිබේ. එම කාල සීමාව අවසන් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුළු පෙත්සම් 30ක් ගොනු කර ඇති අතර, ඊට පක්ෂව පෙත්සම් 3ක් සහ ඊට විපක්ෂව පෙත්සම් 27ක් ඇතුළත් වන බව වාර්තා වේ.

විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් මෙයට එරෙහිව පෙත්සම් ගොනු කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ මෙයින් ජනතා පරමාධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන බැවින් මෙය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවයි. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් පනතට සහාය පළ කරමින් අතරමැදි පෙත්සම් ගොනු කර ඇත.

මීට සති දෙකකට පෙර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගැනිණි. ඒ අනුව අදාළ සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සකස් කර ඇත්ද, නැතහොත් එහි ඇති වගන්ති සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් හෝ ජනමත විචාරණයක් අවශ්‍ය වේද යන්න පිළිබඳව අධ්‍යයනය කර තීරණය ලබාදීමට අගවිනිසුරුවරයා විසින් විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් පත්කිරීමට නියමිතව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව, ව්‍යවස්ථා සංශෝධනයක ව්‍යවස්ථානුකූලභාවය මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කළ පසු, අදාළ පෙත්සම් විභාග කර අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට සති තුනක කාලයක් හිමිවේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ විමර්ශනයෙන් අනතුරුව, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිල මතය සහ තීරණය කථානායකවරයා වෙත නිකුත් කිරීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading