පොලිසිය විනයගරුක සහ නීතිගරුක නොවන්නේ නම් කිසිදු සමාවක් නොදී ගෙදර යවන බවත් පසුගිය වසර තුළ පමණක් 10,000කට ආසන්න නිලධාරීන් පිරිසකගේ වැඩ තහනම් කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
නිල උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් කවර තරාතිරමක තනතුරක් දැරුවද පොලිස් ස්ථානයක් වෙත පැමිණෙන අසරණ ජනතාවගේ ගැටලුවලට සාවධානව ඇහුම්කම් දී සාධාරණය ඉටුකිරීම සෑම නිලධාරියෙකුගේම මූලික වගකීම බවයි.
අසරණ ජනතාව පොලිස් ස්ථානයට පැමිණි විට ඔවුන් තවත් අසරණ වී “කබලෙන් ලිපට වැටෙන” තත්ත්වයක් නිර්මාණය වීම කිසිසේත්ම අනුමත නොකරන බව ආනන්ද විජේපාල මහතා පවසනවා.
එමෙන්ම සුළු පිරිසකගේ අක්‍රමිකතා හේතුවෙන් සමස්ත දෙපාර්තමේන්තුවටම කැළලක් සිදුවීමට ඉඩ නොතබන බව පැවසූ අමාත්‍යවරයා. ආදර්ශමත් හා විනයගරුක සේවයක් පවත්වාගෙන යාම සඳහා පොලිස්පතිවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට දැඩි උපදෙස් ලබාදී ඇති බව එහිදී කියා සිටියා.
මේ අතර පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය උදෙසා යටිතල පහසුකම් පුළුල් කිරීම, තනතුරු සංඛ්‍යාව වැඩි කිරීම, නියමිත උසස්වීම් කඩිනම් කිරීම මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවටම අනන්‍ය වූ නව වැටුප් ව්‍යුහයක් සකස් කිරීමේ කටයුතු මේ වන විට සාර්ථක අදියරකට පැමිණ ඇති බව ආනන්ද විජේපාල මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, නිලධාරීන්ට හිමි සියලු පහසුකම් ලබාදෙන පසුබිමක, මහජනතාවට ඉහළ ගුණාත්මක සේවාවක් සැපයීම අනිවාර්ය බවයි.
එමෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වා කිසිදු දේශපාලනඥයෙකු නිලධාරීන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලට බලපෑම් නොකරන බවට රජය සහතික වන බවත් සාමාන්‍ය කොස්තාපල්වරයෙකුට වුවද දේශපාලන හිතවත්කම්වලින් තොරව, තමන්ගේ අවංක සේවය හා කුසලතාව මත පොලිස්පති ධුරය දක්වා වුවද ගමන් කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙනවා.
අවංකව හා නීත්‍යානුකූලව කටයුතු කරන නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය නිරතුරුව මැදිහත් වන බවත් කිසියම් නිලධාරියෙකු අනීතිකව කටයුතු කරන්නේ නම් මහජනතාව වෙනුවෙන් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
