වතු සමාගම් සමග ගිවිසුම් ඉවර කරනවා! අලුත් ගිවිසුම්වලට ඉඩම් අයිතිය පිළිබද වගන්ති ඇතුළත් කරනවා! – අලුත්ම පොරොන්දු එක්ක අනුර පූනාගලදී කරපු කතාව

වතු සමාගම්වලට ලබාදී ඇති ඉඩම් ගිවිසුම් 2042 වසරේදී අවසන් වීමට නියමිතව තිබුණද, රජය එම ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මේ සම්බන්ධයෙන් පසුවිපරම් කිරීම සඳහා දැනටමත් අමාත්‍යාංශය මඟින් විශේෂ කමිටුවක් පත් කර විමර්ශන කටයුතු අරඹා ඇති බවද හෙතෙම සඳහන් කළේය. එසේම ඉදිරියේදී වතු සමාගම් සමඟ එළඹෙන ඕනෑම නව ගිවිසුමක් සඳහා අනිවාර්යයෙන්ම වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කෙරෙන වගන්ති ඇතුළත් කරන බවට ජනාධිපතිවරයා ස්ථිර පොරොන්දුවක් ලබා දුන්නේය.

‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද(28) එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේය. ඔහු එහිදී කළ සම්පූර්ණ කතාව මෙහි එයි.

‘‘මේ ජනතාව අපේම ශ්‍රී ලාංකික ජන කොටසක්. ඔවුන් ආවේ කොහෙන්ද? ආවේ කවදාද කියන එක වැදගත් නෑ. ඒක ඉතිහාසය. නමුත් අද අපේ රටේ ඉපදෙන, අපේ රටේ ආර්ථිකයට හවුල් වෙන, මේ මහ පොළොවේ පස් බවට පත්වෙන මේ ජන කණ්ඩායම අපේ රටේ සුවිශේෂී අයිතිවාසිකම් සහිත ජන කණ්ඩායමක්.

සියවස් දෙකකට අධික කාලයක් වුණත්, ඔවුන්ට තමන්ගේම වූ බිම් කොටසක් මේ මාතෘ භූමියේ හිමිකමක් නොමැති ජන ප්‍රජාවක්. තමන්ටම වූ නිවසක් අහිමි වූ ජනතාවක්. අපි හිතන්නේ අපේ හැම ජනතාවටම අවශ්‍යයි, මූලික කරුණු පහක්වත් අවම වශයෙන් ඉටුවිය යුතුයි.

ඉන්න නිවහනක්, ආදායම් මාර්ගයක්, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් හා මානසික සුවය. හැබැයි අපි මේ ජන ප්‍රජාවගෙන් ඇහුවොත්, ඔවුන්ගේ මුහුණු දෙස බැලුවොත්, ඔවුන්ගේ දුකට ඇහුම්කන් දුන්නොත්, මේ කරුණු වලින් මොන කරුණුද ඉටුවී තිබෙන්නේ?

ඒ නිසා වර්තමාන අපේ රජයේ අභියෝගය සහ අපි මත පැවරී තිබෙන වගකීම තමයි, මේ සියලු ජන කණ්ඩායම් වලට ඒ අවශ්‍ය වෙන මූලික උවමනාවන් ඉටුකරලීම. ඒ සඳහා අපි නිවාස ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. එළඹෙන අයවැය ලේඛනයේදීත් නිවාස ගොඩනැගීම ප්‍රමුඛතාවයක් ලෙස කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හොඳ ආදායම් මාර්ගයක් අවශ්‍යයි. ඒ ආදායම් මාර්ග සම්පූර්ණ කිරීම වෙනුවෙන් අපි බොහෝ පියවරයන් රැගෙන තිබෙනවා. දැනටමත් අපි මෙම මලයගම් ප්‍රජාව වෙනුවෙන් වැටුප් වැඩි කිරීමක් ලබා දෙන්න සමත් වී තිබෙනවා. ඒ ප්‍රමාණවත් කියා මා විශ්වාස කරන්නේ නැහැ. ඒත් මූලික පියවර තියලා තියෙනවා.

ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අපි විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්‍රජාව ගතකළ ජීවිතය තමන්ගේ දරුවන්ට හිමිකර දීම යුක්ති සහගත වෙන්නේ නැහැ. වත්තේ ඉපදෙනවා, වත්තේ වැඩකරනවා, වත්තේ මිය යනවා, වත්තේම පස් වෙනවා. ඒ ජීවිතයෙන් ඔවුන් එළියට ආ යුතුයි. එම ජීවිතයෙන් එළියට ඒම සඳහා තියෙන ප්‍රධානම කාර්ය තමයි අධ්‍යාපනය. ඒ නිසා මෙම දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි අපි විශේෂ අවධානයක් යොමුකරලා වැඩකටයුතු කරන්න සූදානම්.

ඒ වගේම නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය පහසුකම් අපි ලබාදිය යුතුයි. ඒක ආණ්ඩුවක් හැටියට අපේ වගකීමක්. අපි බැලුවොත් අඩු බර උපත් දරුවන් ඉන්නේ කොහෙද? මෙම ජනතාව තුළ. අවුරුදු පහට වඩා අඩු, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ කොහෙද? මෙම ජනතාව තුළ. ආයු කාලය අඩු ප්‍රජාවක් ඉන්නේ කොහෙද? මෙම ජනතාව තුළ.

ඒ නිසා සියවස් දෙකකට වඩා වැඩි කාලයක්, කොන්කරන ලද, ඇස් ඇර ඔවුන් දෙස නොබලන ලද පාලනයන් විසින් මේ ජනතාව මෙම ව්‍යසනයට පත්කොට තිබෙනවා. අපි ඔබව අපේම සහෝදර ජනතාවක් ලෙස, මේ රටේ පූර්ණ අයිතිය සහ ජීවිතය ලබාදෙන්න කටයුතු කරන බව මා සහතික කරනවා.

මා දන්නවා විශාල ප්‍රශ්නයක් තිබෙන බව මේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයේ. වත්තේ වැඩ කරාට සමාගම් ඒ තරම් ලේසියෙන් ඉඩම් දෙන්න කැමති නැහැ. නමුත් මෙම සමාගම් වල ගිවිසුම් 2042 වෙනකොට අවසන් වීමට නියමිතව තිබෙනවා. දැනටමත් අමාත්‍යාංශය එම ගිවිසුම් පිළිබඳව පසුවිපරම් කිරීම සඳහා කමිටුවක් පත්කොට විමර්ශනය කරමින් තිබෙනවා.

අපි ඉතා ඉක්මනින් ඒ ගිවිසුම් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි එහිදි වැදගත් වගන්තියක් ඇතුල් වෙනවා. ඒ තමයි මෙම ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වූ වගන්ති සහිතව තමයි එළඹෙන ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ.

විශේෂයෙන් මේ මධ්‍ය කඳුකරය අපේ රටේ හදවත. මේ මධ්‍ය කඳුකරයෙන් රූරා ගලන ගංගා, ඔයවල් 103ක් තිබෙනවා. අපේ කෘෂිකර්මාන්තය, අපේ පාරිසරික තත්ත්වය, අපේ ආර්ථිකයේ විශාල පංගුවක් උපදින්නේ මේ මධ්‍ය කඳුකරයෙන්. ආසන්න වශයෙන් අපේ භූමියෙන් 13%ක් මේ මධ්‍ය කඳුකරයට ඇතුල් වී තිබෙනවා. වාර්ෂික වර්ෂාපතනයෙන් 72%ක් විතර මේ මධ්‍ය කඳුකරයට ගලා හැලෙනවා. ඒ කියන්නේ අපේ රටේ වැදගත්ම හදවත මේ මධ්‍ය කඳුකරය.

හැබැයි දීර්ඝ කාලෙක අපේ අසංවිධිත සංවර්ධනයේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිමින් තිබෙනවා. පසුගිය නායයාම වාර්තා කරනවා, ප්‍රධාන නායයාම් 1200කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුවූ බව දිස්ත්‍රික්ක වලදී. අපි දශක කිහිපයකට පෙර ඇහුවා නාය නොයන රටක් ගැන. තව දශක කිහිපයකින් පසුව ඇහුවා, නායයාම් එකක් දෙකක් ගැන. හැබැයි අපි දැන් අහනවා නායයාම් දහස් ගණනක් ගැන. එහෙනම් මේ මධ්‍ය කඳුකරයට කුමක්ද සිදුවෙමින් තිබෙන්නේ?

අපි ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනවා. කඳු කඩා වැටීම්, උල්පත් හිඳීම්, ඒ වගේම ගංගා, ඇළවේලි ගොඩවීම්, තිබුණු ජෛව විවිධත්වය විනාශ වීම් ආදි විශාල ඛේදවාචකයක් අපි මේ දකිමින් තිබෙනවා. මේ සියලු විනාශයන් දැන් අපි ඇස් ඉදිරිපිට තිබෙනවා. අපේ රටේ ආරක්ෂාව, අපේ රටේ අනාගතයේ වැදගත් කොටසක් ඔසවන්නේ මේ මධ්‍ය කඳුකරයෙන්. ඒ නිසා විශේෂයෙන්ම මා ඔබට කියන්න කැමතියි, අපි දැනටමත් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව, විශේෂ පනතක් සකස් කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ තමයි මධ්‍ය කඳුකරය ආරක්ෂණ අධිකාරියක් අපි පිහිටුවනවා.

තිබුණු තත්ත්වයට පත්වෙන්න අපිට දශක ගණනාවක් යාවි. හැබැයි විනාශය සඳහා ගනු ලබන පියවරයන් දැන් අපි නතර කළ යුතුයි. ඒ තමයි පළමු පියවර. විනාශය සිදුවී තිබෙන විනාශය යථා තත්ත්වයට පත්කරන්න දිගු කාලයක් යනවා. හැබැයි පළමු පියවර සිදුවෙමින් තිබෙන විනාශය නතර කළ යුතුයි. ඒ සඳහා දෙපාර්තමේන්තු, ආයතන, වගකීම් සහිත විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියලු බලය ඒකාබද්ධ කරන අලුත් මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට අප කටයුතු කරනවා.

මේ වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා නව අධිකාරියක් පිහිටුවනවා. ඒ අධිකාරියට සියලු බලය ලබාදෙනවා. ජන ප්‍රජාවේ ගැටලු විසඳීම, ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීම, පාංශු රක්ෂණය සිදුකිරීම, වන සංරක්ෂණ බලතල, වනජීවී බලතල, වාරිමාර්ග බලතල, කෘෂිකර්මාන්ත බලතල, මේ සියල්ල එක අධිකාරියක් යටතට අපි ගෙන එන්න ඕන මධ්‍ය කඳුකරය යළි සුරක්ෂිත කරන්න නම්. අපි ඉපදෙනකොට අපිට යම් සාරවත් මධ්‍ය කඳුකරයක් ආරක්ෂා වී තිබුණා. අපි මිය යනකොට අපේ දරුවන්ට විනාශකාරී මධ්‍ය කඳුකරයක් අපි ලබාදිය යුතුද? එහෙනම් ජීවත් වෙන අපේ වගකීම තමයි, අපේ අනාගතයට මේ මධ්‍ය කඳුකරය සුරක්ෂිත කළ යුතුයි.

එහිදී සමහරවිට නිවාස තියෙන තැන් නිවාස අහිමි වෙන්න පුළුවන්. වගාබිම් තියෙන ප්‍රදේශ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක කරන්න ඕන. එහෙම නැත්නම් අපේ රට විශාල ව්‍යසනයකට මුහුණ දෙනවා මතක තබාගන්න. ඒ නිසා මධ්‍ය කඳුකරය අපේ හදවත, එහි ආරක්ෂාව අපේ රටේ අනාගතය. ඒ සඳහා අපි මැදිහත් විය යුතුයි. ආයතන වල බලතල එහෙට මෙහෙට බෙදෙයි, කවුරුවත් කලබල වෙන්න එපා. පොඩි චුට්ටක් එහෙට මෙහෙට මාරු වෙයි, කවුරුවත් කලබල වෙන්න එපා. තිබෙන තනතුරු නාම වෙනස් වෙයි, කවුරුවත් කලබල වෙන්න එපා. ජාතික වගකීමක් ලෙස සලකා අපි මේ කාර්යය ඉටුකළ යුතුයි.

මා හිතනවා එහිදී ප්‍රධාන වැඩකොටසක් තමයි, අපේ මේ මලයගම් ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම. ඒ සඳහා ඉන්දියානු රජය අපිට දීර්ඝ සහයක් ලබාදෙනවා. ඔවුන්ට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ කියන්නේ යුධ අවස්ථාවේදී ලංකාව අතහැරලා ගියපු ඉන්දියාවේ ඉන්න මිනිස්සුන්ට යළි ලංකාවට එනකොට බාධාවන් තිබුණා. අපි ඒ සියලු බාධාවන් ඉවත් කිරීමට පහුගියදා කැබිනට් මණ්ඩලයේ තීරණය කළා. අපේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ සඳහා අවශ්‍ය වෙන සහය ලබාදෙන සියලු කටයුතු කරලා තිබෙනවා. ඔවුන් අපේ රටේ පුරවැසියන්. ඒ නිසා අපිට යහපත් බලාපොරොත්තුවක් තිබෙනවා, මේ රටේ ඉපදෙන මිනිස්සුන්, මේ රටේ ආර්ථිකයට හවුල් වෙන මිනිස්සුන්, මේ රටේ මහ පොළොවට පොහොර බවට පත්වෙන මිනිස්සුන් සෑම දෙනාටම හොඳ ජීවිතයක් ලබාදිය යුතුයි. අන්න ඒ ජීවිතය ලබාගැනීම වෙනුවෙන් රජයක් හැටියට අපි වගකීම් භාරඅරන් තිබෙනවා.

අපේ සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා, අපේ නියෝජ්‍ය ඇමතිතුමා, අපේ ළමා සහ කාන්තා කටයුතු සරෝජා පෝල්රාජ් මැතිතුමිය, අපේ නිවාස ඇමතිතුමා, දිවා රෑ නොබලා මහන්සි වෙමින් ඔබට හොඳ ජීවිතයක් උරුම කරදීම වෙනුවෙන් කටයුතු කරනවා. අපේ අපේක්ෂාව ඔබට වඩාත් හොඳ ජීවිතයක් උරුම කරදීමයි. ඔබගේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කරදීමයි. මේ රට වඩාත් සුන්දර ලස්සන රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමයි. ඒ වෙනුවෙන් ඔබගේ සහය, ඒ වෙනුවෙන් ඔබගේ මැදිහත්වීම අපේක්ෂා කරමින් මා නතර වෙනවා. බොහොම ස්තූතියි, සියලු දෙනාටම.

නන්රි, වණක්කම්, බොහොම ස්තූතියි.”

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading