අලුත් ව්‍යවස්ථා සංශෝධනය ඇතුළුව රටේ ජනතාව වෙනුවෙන් ගනු ලබන කිසිදු තීන්දුවක් කවුරුන් කෙසේ ප්‍රතිචාර දැක්වුවද ආපසු හැරවීමක් සිදු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
තීන්දුවක් ගැනීමට පෙර විය හැකි වාසි අවාසි සහ අනෙකුත් බාහිර සාධක සියල්ල පුළුල් සාකච්ඡාවට භාජනය කරන බවත් එලෙස ගන්නා තීන්දු කිසිසේත්ම ආපසු නොහරවන බවට සහතික වන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, මෙය ජනතාවගේ හඬට සවන් දෙන ආණ්ඩුවක් බැවින් ගනු ලබන තීන්දුවල යම් අඩුවක් සිදුවන්නේ නම් එය වෙනස් කිරීමට පසුබට නොවන බවද සඳහන් කළා.
සෑම බලයකටම වඩා උඩින් පවතින්නේ ඕනෑම අභියෝගයක් පරාජය කිරීම සඳහා අවශ්‍ය වන මහජන බලය ගොඩනැගීම බවත් ඒ අනුව රටේ මහජන බලය කෙරෙහි තමන් දැඩි විශ්වාසයකින් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.
තවද රජය ගන්නා කිසිදු තීරණයකින් හෝ පියවරකින් රටේ සාමාන්‍ය ජනතාවට සුළු හෝ අගතියක් සිදු නොවීමට වගබලා ගන්නා බවටද ඔහු සඳහන් කළා.
එමෙන්ම නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සමාජයේ විශාල අඬහැරයක් පැවතුණද, එහි එකම අරමුණ රටේ ජනතාවට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම බව පැවසූ ජනාධිපතිවරයා, පාතාල මර්දනයේදී පාතාලයටත්, මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ජාවාරම්කරුවන්ටත් අගතියක් වී පොදු ජනතාවට සුගතියක් අත්වන්නා සේම, මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහාද පොදු ජනතාවගේ නීතිය පිළිබඳ විශ්වාසය තහවුරු වී යුක්තිය පසිඳලීමේ වේගය වැඩිවන බව පවසනවා.
වත්මන් යුක්තිය පසිඳලන ආයතන තුළ විශාල බිඳවැටීමක් පවතින බවත් 2006 වසරේ නඩුවකට තීන්දුව ලැබෙන්නේ 2026 දී නම් සහ 2014 නඩුවකට වසර නවයක් ගතවීත් එකදු සාක්ෂියක් හෝ ගෙන නොමැති නම් ජනතාවට නීතිය කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
එම ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය ශක්තිමත් කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නීතිමය ප්‍රතිසංස්කරණ සහ යටිතල පහසුකම් සැපයීම හරහා ඒ සඳහා රජය මේ වන විටත් දැවැන්ත පියවර ගෙන ඇති බවත් එම සෑම පියවරකදීම මහජන බලය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා කටයුතු කරන බවත් වැඩිදුරටත් කියා සිටියා.
