ආගම හෝ සංස්කෘතිය කුමක්ද යන කිසිදු භේදයකින් තොරව රටේ නීතිය ඉදිරියේ සැවොම සමාන බවට වන සහතිකය ජනතාවට ඒත්තු ගන්වමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද පැවති මිලාද්-උන්-නබි ජාතික සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ, අතීතයේදී නීතිය ක්‍රියාත්මක වූයේ සමාජයේ පහළ ස්ථරවල අයට පමණක් බවටත් බලවත් අයට හෝ ආගම සහ සංස්කෘතිය මත නීතිය ක්‍රියාත්මක නොවූ බවටත් සමාජයේ පැවති මතය සත්‍ය අත්දැකීම් මත පදනම් වූවක් බවයි.
එහෙත් රටක් ගොඩනැගීමේ වැදගත්ම අත්තිවාරම වන්නේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වීම බව පැවසූ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව මේ වන විට ඒ සඳහා ප්‍රායෝගික ආදර්ශයක් සපයමින් සිටින බවත් එහිදී සඳහන් කළා.
නබිනායක තුමාණන් සිය අවසන් සමුගැනීමේ දේශනාවේදී මුළු දහමම කැටිකොට මනුෂ්‍යත්වය, සාමය, සමානාත්මතාවය සහ ආර්ථිකය ඇතුළු ප්‍රධාන කරුණු පහක් පිළිබඳව දේශනා කළ බව පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ආගමික ශාස්තෘන් වහන්සේලා දුටු එවන් යහපත් සමාජයක් බිහි කිරීම සමස්ත සමාජයේම වගකීම බවයි.
දීර්ඝකාලීන ජාතිවාදී ගැටුම් හේතුවෙන් මුළු පරම්පරාවක්ම ඝාතනයට ලක්වෙමින් විනාශ වූ කුරිරු අත්දැකීම්වලින් රට පාඩම් උගත යුතු බව පැවසූ ජනාධිපතිවරයා, වර්තමානයේ ජීවත්වන සියලු දෙනා අඩු වැඩි වශයෙන් එම ගැටුම්වල වින්දිතයන් බව සඳහන් කළා.
ඔහු පවසන්නේ, කවර වර්ගයේ හෝ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට යළි ශ්‍රී ලංකාව තුළ කිසිසේත්ම ඉඩ නොදෙන බවට ආණ්ඩුවක් සහ දේශපාලන ව්‍යාපාරයක් ලෙස සහතික වන බවයි.
එමෙන්ම රටේ අත්තිවාරමේ පළමු කුළුණ වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ඇතුළු සියලු ජනතාවගේ සමානාත්මතාව සහ අයිතීන් සුරකිමින්, ආගමික අන්තවාදය ප්‍රතික්ෂේප කර ගොඩනගන ජාතික සමගිය බව ජනාධිපතිවරයා පවසනවා.
භූගෝලීය පිහිටීම, ශිෂ්ටාචාරය, ස්වභාවික සම්පත් මෙන්ම ලෝකයේ ඕනෑම දියුණු සමාජයක් සමඟ කරට කර වැඩ කළ හැකි දක්ෂතම මානව සම්පතක් රට සතුව තිබුණද, දීර්ඝ කාලයක් තිස්සේ සිදුවූ විනාශකාරී දේ හේතුවෙන් රටේ පාදම බිඳවැටී දියුණු රාජ්‍යයක් අත්පත් කරගැනීමට නොහැකි වූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
කෙසේවෙතත් පහුගිය වසර දෙකට ආසන්න කාලය තුළ අසීරු අවස්ථාවලදී සහ ගැටුම් උත්සන්න වූ මොහොතේ පවා නිර්භීත තීන්දු තීරණ ගනිමින්, ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට හිමි ගෞරවය සහ වටිනාකම යළි දිනාගැනීමේ ජාත්‍යන්තර පදනම ශක්තිමත් කළ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
