මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළ ඇප නීතිය, මෙත්ඇම්පිටමින් නිෂ්පාදනයට අදාළ දඬුවම් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රමය වෙනස් කරන පනත් කෙටුම්පත් දෙකක් රජය ගැසට් කර තිබේ.
කෙටුම්පත් දෙකම 2026 අගෝස්තු 21 දිනැති ගැසට් අතිරේක ලෙස අගෝස්තු 24 වැනිදා නිකුත් කර ඇත.
ඒවා 2026 අංක 61 සහ 62 දරන පනත් කෙටුම්පත් ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ලැයිස්තුගත කර තිබේ.
කෙටුම්පත් දෙකෙන්ම සංශෝධනය කිරීමට යෝජනා කරන්නේ 218 වැනි අධිකාරය වූ විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනතයි.
පළමු කෙටුම්පතේ වඩාත්ම වැදගත් සංශෝධනයක් ඇප ලබාගැනීමේ අධිකරණ බලය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබේ. 2022 අංක 41 දරන සංශෝධන පනත යටතේ දැනට පවතින නීතිය අනුව, ආණ්ඩුවේ රසපරීක්ෂක වාර්තාවේ සඳහන් ශුද්ධ මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 10ක් හෝ ඊට වැඩි නම් සහ අදාළ වරදට මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම කළ හැකි නම්, ඇප ඉල්ලිය හැක්කේ අභියාචනාධිකරණයෙන් පමණි.
නව කෙටුම්පතෙන් එම ග්‍රෑම් 10 සීමාව ග්‍රෑම් 100 දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබේ. ආණ්ඩුවේ රසපරීක්ෂක වාර්තාව ලැබී ඇත්නම් ශුද්ධ බර ග්‍රෑම් 100ක් හෝ ඊට වැඩි විය යුතුය.
වාර්තාව තවම ලැබී නොමැති නම් අත්අඩංගුවට ගත් ද්‍රව්‍යයේ දළ බර ග්‍රෑම් 100ක් හෝ ඊට වැඩි විය යුතුය. එම සීමාවට අඩු නඩුවලදී විශේෂ අවස්ථානුගත කරුණු මත මහාධිකරණයෙන් ඇප ඉල්ලීමට අවස්ථාව ලැබේ.
ඒ අනුව දැනට අභියාචනාධිකරණයට පමණක් යොමු වන ග්‍රෑම් 10ත් ග්‍රෑම් 100ත් අතර නඩු විශාල ප්‍රමාණයක් මහාධිකරණයට යොමු විය හැකිය.
දළ බර මත අභියාචනාධිකරණය නඩුව භාරගත් පසුව, රසපරීක්ෂක වාර්තාවෙන් ශුද්ධ බර ග්‍රෑම් 100ට අඩු බව අනාවරණය වුවද අභියාචනාධිකරණයට එම නඩුව දිගටම සලකා බැලිය හැකිය. අභියාචනාධිකරණය තීරණය කළහොත් පමණක් එය අදාළ මහාධිකරණයට මාරු කළ හැකිය.
දැනට 54අ වගන්තිය යටතේ හෙරොයින්, කොකේන්, මෝෆීන් සහ අබිං නිෂ්පාදනය කිරීම මරණීය දණ්ඩනයෙන් හෝ ජීවිතාන්ත සිරදඬුවමෙන් දඬුවම් කළ හැකි වරදකි. නව කෙටුම්පතෙන් මෙත්ඇම්පිටමින් ද එම ලැයිස්තුවට ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ. එම නමින් හදුන්වන්නේ එදිනෙදා අයිස් යනුවෙන් හදුන්වන මත්ද්‍රව්‍යය වේ.
ඒ අනුව මෙත්ඇම්පිටමින් නොහොතත් අයිස් නිෂ්පාදනය කිරීම ද මරණීය දණ්ඩනයෙන් හෝ ජීවිතාන්ත සිරදඬුවමෙන් දඬුවම් කළ හැකි වරදක් බවට පත්වේ.
එම ඖෂධ පහ හැර තුන්වැනි උපලේඛනයේ සඳහන් වෙනත් අන්තරායදායක ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහාද වෙනම දඬුවමක් යෝජනා කර ඇත. එවැනි වරදකට රුපියල් ලක්ෂ දෙකත් පහත් අතර දඩයක්, අවුරුදු 10ත් 20ත් අතර සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කළ හැකිය.
2026 මාර්තු මාසයේ සම්මත කළ අංක 7 දරන සංශෝධන පනතෙන් මහ මුහුදේදී සිදුකරන මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අධිකරණවලට බලය ලබා දී තිබුණි.
එහෙත් එහි මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්ත සිරදඬුවම අදාළ වන නිෂ්පාදන වැරදි ලැයිස්තුවට මෙත්ඇම්පිටමින් පැහැදිලිව ඇතුළත් කර නොතිබුණි. නව කෙටුම්පතෙන් එම හිඩැස පිරවීමට යෝජනා කර තිබේ.
කැනබිස් සැටිවා එල් ශාකය සහ එහි ස්වාභාවික සංයෝග අඩංගු සැකසුම් ද තුන්වැනි උපලේඛනයට පැහැදිලිව ඇතුළත් කිරීමට යෝජනා කර ඇත.
මෙය කැනබිස්වල මල් හෝ ඵල හටගත් මුදුන් කොටස් පමණක් සඳහන් කරන දැනට පවතින උපලේඛන විස්තරයට වඩා පුළුල් සහ නිශ්චිත වර්ගීකරණයකි.
දෙවැනි කෙටුම්පතෙන් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සහ විනාශ කිරීමේ ක්‍රමය පුළුල් ලෙස වෙනස් කිරීමට යෝජනා කර තිබේ. දැනට පවතින නීතිය අනුව ආණ්ඩුවේ රසපරීක්ෂකවරයාට වාර්තාව නිකුත් කිරීම සඳහා මාස 12ක් දක්වා කාලයක් ලබාදී ඇත.
නව කෙටුම්පතෙන් එම උපරිම කාලය මාස දෙකක් දක්වා අඩු කර තිබේ. මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා විමර්ශකයා වහාම ඒවායේ ඇසුරුම් සහ මුද්‍රා ඇතුළත් වන ලෙස ඡායාරූප ගත කළ යුතුය. හැකි අවස්ථාවලදී වීඩියෝ පටිගත කිරීම්ද සිදු කළ යුතුය.
එම දෘශ්‍ය සාක්ෂි සහ ප්‍රමාණය පිළිබඳ වාර්තාව මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික ආකාර දෙකෙන්ම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය. මෙම ක්‍රමය පොලිසියට පමණක් සීමා නොවේ. “විමර්ශකයා” යන නිර්වචනයට පොලිස්, රේගු සහ සුරාබදු නිලධාරීන්ද ඇතුළත් කර තිබේ.
කැනබිස් සැටිවා එල් තොගයක් අත්අඩංගුවට ගත් විට, එයින් සාම්පලයක් පමණක් ආණ්ඩුවේ රසපරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට කෙටුම්පතෙන් යෝජනා කර ඇත. ඉතිරි තොගය මහේස්ත්‍රාත් නියෝගයක් මත වහාම විනාශ කළ යුතුය. 54අ වගන්තිය යටතේ නොවන වෙනත් වැරදිවලට අදාළ මත්ද්‍රව්‍ය හෝ සැකසුම්ද මහේස්ත්‍රාත් නියෝගයක් මත කඩිනමින් විනාශ කිරීමට ඉඩ සැලසේ.
බරපතළ මත්ද්‍රව්‍ය නඩුවකදී රසපරීක්ෂක වාර්තාව ලැබුණු පසුව එහි පිටපතක් සැකකරුට හෝ ඔහුගේ නීතිඥවරයාට ලබාදිය හැකිය. වාර්තාව ලැබීමෙන් පසුව නඩුව පළමුව කැඳවන දිනයේ සිට දින 15ක් ඇතුළත විනාශ කිරීමේ නියෝගය සම්බන්ධ දිනය නියම කළ යුතුය.
විත්තිය රසපරීක්ෂක මතය ප්‍රශ්න කරන්නේ නම් ඒ බව වාර්තා කර සාම්පලයක් රඳවාගෙන ඉතිරි තොගය විනාශ කළ හැකිය. එවැනි ප්‍රශ්න කිරීමක් නොමැති නම් මුළු තොගයම විනාශ කිරීමට නියෝග කළ හැකිය.
විනාශ කිරීමේ නියෝගය අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා, පැමිණිල්ලේ නීතිඥයා හෝ විමර්ශකයා සහ විත්තියේ නීතිඥයා හෝ සැකකරු ඉදිරියේ කළ යුතුය. එම නියෝගය අවසානාත්මක වන අතර වෙනත් අධිකරණයකදී ප්‍රශ්න කළ නොහැකි බවද කෙටුම්පතේ සඳහන් වේ.
නියෝගය ලැබීමෙන් සති දෙකක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකුගේ අධීක්ෂණය යටතේ මත්ද්‍රව්‍ය විනාශ කළ යුතුය. විනාශ කිරීම පිළිබඳ වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. නඩුව සඳහා රඳවාගත් සාම්පලය නඩු විභාගය අවසන් වූ වහාම විනාශ කළ යුතුය.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය නඩු අවසන් වනතුරු ගබඩා කර තැබීමේදී මතුවන නීතිමය සහ ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කර තිබුණි.
සාක්ෂියක් ලෙස සාම්පලයක් රඳවාගෙන ඉතිරි තොග කඩිනමින් විනාශ කිරීමට හැකි නීතිමය ක්‍රමයක් සකස් කිරීම එහි අරමුණ විය.
සියලු පාර්ශ්වවල අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මත්ද්‍රව්‍ය විනාශ කිරීම කඩිනම් කිරීම සඳහා අවසන් කෙටුම්පතක් සකස් කිරීමට 2026 මාර්තු 16 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබුණේ අධිකරණ භාරයේ ඇති මත්ද්‍රව්‍ය නැවත සමාජයට පැමිණීම වැළැක්වීම සහ රජයේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ පිළිබඳ මහජන විශ්වාසය ගොඩනැගීමද මෙම සංශෝධනයේ අරමුණු බවයි.
ඇප සංශෝධනයට පසුබිම් වී ඇත්තේ ආණ්ඩුවේ රසපරීක්ෂක වාර්තා ප්‍රමාද වීම සහ සැකකරුවන් දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමයි.
අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලීමට සිදුවීම නිසා කොළඹින් පිටත සැකකරුවන්ගේ පවුල්වලට අමතර වියදම් සහ ප්‍රමාද ඇතිවන බවද අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පෙන්වාදී තිබුණි.
