ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ නැමැත්තා අද (අගෝස්තු 25) ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත රැගෙන ගොස් තිබේ.
සැකකරු මෙරටට භාරගැනීම සහ කැඳවාගෙන ඒම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.
කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 36 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව ජාත්‍යන්ත රතු වරෙන්තුවක් පවා නිකුත් කර තිබූ අතර, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව එම වරෙන්තුව ලබාගෙන ඇත.
මිනීමැරීමේ වරදට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහාධිකරණය මගින්ද මොහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති බව සඳහන් වේ.
2022.10.16 දින හංවැල්ල පොලිස් වසමේ පිහිටි නිවසකට ඇතුළු වී පුද්ගලයින් තිදෙනෙකු කපාකොටා බරපතළ තුවාල සිදුකිරීම, 2023.12.25 දින පාදුක්ක පොලිස් වසමේ දී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු තවත් අපරාධ සහ කප්පම් ගැනීම්, මනුෂ්‍ය ඝාතන සම්බන්ධ චෝදනා රැසක් එල්ල වී තිබේ.
