ආරක්ෂක අංශ භාරයේ පවතින තමන්ගේ පාරම්පරික හා පෞද්ගලික ඉඩම් නැවත ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසින් විසින් පලාලි හන්දියේ පවත්වන විරෝධතාව 10 වන දිනටත් ඊයේ (අගෝස්තු 23) පවත්වා ඇත.
සෑම ඉරිදා දිනකම පලාලි හා වාසවිලාන් ප්‍රදේශවල ජනතාව රැස්වෙමින් මෙම විරෝධතාව පවත්වන අතර ඊයේ පැවති විරෝධතාව සඳහා ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම්ද සහභාගි වී ඇත.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ශාන්ත සෙබස්තියන් පල්ලිය, මයිලිට්ටි රෝමානු කතෝලික විද්‍යාලය හා වාසවිලාන් ශ්‍රී වේලුපිල්ලේ විද්‍යාලය ඇතුළු ප්‍රදේශයේ පිහිටි වැදගත් සිවිල් හා ආගමික ස්ථාන වෙත ප්‍රවේශ වීමට තවමත් නොහැකි වී ඇති බවයි.
යුද්ධය අවසන් වී අවරුදු 17ක කාලයක් ගතවීත් සිවිල් ඉඩම් දිගින් දිගටම අත්පත්කරගෙන සිටීම ජාතික ආරක්ෂාව යනුවෙන් සාධාරණීය කළ නොහැකි බවද, යුද සමයේදී අධි ආරක්ෂක කලාප ලෙෂ නම් කළ ප්‍රදේශ අද වනවිට එම තත්වයේම පැවතීමට අවශ්‍ය නැති බව ආණ්ඩුව පිළිගන්නේ නම් දැනටමත් අත්පත් කරගෙන සිටින සිවිල් ඉඩම් සඳහා එම ප්‍රතිපත්තිය අදාළ විය යුතු බවද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර ඇත.
එමෙන්ම ඉතිරිව ඇති සියලු සිවිල් ඉඩම් නිදහස් කිරීම සඳහා පැහැදිලි කාලරාමුවකට යටත් වැඩසටහනක් සකස් කරන ලෙසද එහිදී මන්ත්‍රීවරයා ඉල්ලා ඇත.
