අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බරපතල හෘද රෝගී තත්ත්වය සහ ඔහුට සිදුකළ හදිසි හෘද සැත්කම සැලකිල්ලට ගෙන, ඔහු සම්බන්ධයෙන් පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකර අධිකරණ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන එස්.බී.මනෝරි සලේ විසින් ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිත හදිසි ආයාචනයක් යොමු කර තිබේ.
ඊයේ දින යොමු කර ඇති මෙම ලිපිය මගින් ඇය සඳහන් කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යවරයාගේ අධිකාරිය යටතේ නිකුත් කර ඇති රඳවා ගැනීමේ නියෝගය මත පසුවන තම ස්වාමිපුරුෂයාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට අතිශය අසාධ්‍ය හා අවදානම් මට්ටමකට පත්ව ඇති බවයි.
අඛණ්ඩ රඳවා තබා ගැනීමට සහ රඳවා සිටි කොන්දේසිවලට එරෙහිව උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු ඇති වූ සෞඛ්‍ය පිරිහීම හේතුවෙන් සුරේෂ් සලේව 2026 ජූනි 7 වන දින ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් අසාමාන්‍ය හෘද රෝගී තත්ත්වයන් මතුවීම හේතුවෙන් 2026 ජූනි 27 වන දින ඔහුව ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත මාරු කර විශේෂඥ ප්‍රතිකාර ලබා දී ඇති බවත් එහි සඳහන්.
හෘදයේ ක්‍රියාකාරිත්වය අඛණ්ඩව අඩාල වීම නිසා ඔහු විශේෂ හෘද සැත්කමකට ලක් කර ඇති අතර ජීවිතයට තර්ජනයක් වන හෘද ස්පන්දන අක්‍රමිකතා පාලනය කිරීම සඳහා ඔහුගේ හදවතට ICD උපකරණයක් බද්ධ කර ඇති බවද ඇය එම ලිපිය මගින් පවසයි.
ඒ අනුව පවතින රඳවා ගැනීමේ නියෝගය කාලය අවසන් වූ පසු තවදුරටත් දීර්ඝ නොකරන ලෙසත් ඔහුව නැවත CID භාරයට පත් නොකර අධිකරණ බලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙසත් සුරේශ් සලේගෙ බිරිඳ ජනාධිපතිගෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම හදවතට ICD උපකරණයක් බද්ධ කර ඇති බැවින් සුරේෂ් සලේ මහතාට අවශ්‍ය විශේෂිත හෘද ප්‍රතිකාර සහ පශ්චාත් ශල්‍යකර්ම වෛද්‍ය අධීක්ෂණය අඛණ්ඩව ලබා දීම සහතික කරන ලෙසත්, ජාතික රෝහලේ වෛද්‍ය රැකවරණයෙන් ඉවත් කර නැවත CID භාරයට ගැනීමෙන් ඔහුගේ ජීවිතයට එල්ල විය හැකි ආපසු හැරවිය නොහැකි අවදානම වළක්වා දෙන ලෙසත් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.
කිසිදු නීත්‍යානුකූල පරීක්ෂණයකට බාධා කිරීමට හෝ ප්‍රමාද කිරීමට තම පවුලේ කිසිදු අදහසක් නොමැති බව පවසන සුරේෂ් සලේගේ බිරිඳ, අධිකරණ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුවද නීත්‍යානුකූලව අවශ්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීම් හෝ ප්‍රශ්න කිරීම් සිදු කිරීමට උපරිම සහයෝගය ලබා දෙන බවත් අවධාරණය කරයි.
කෙසේවෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට රජය සලකා බලමින් සිටින පසුබිමක රජයේ භාරයේ පසුවන පුද්ගලයෙකුගේ ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ මානුෂීය වගකීම පෙරදැරි කරගෙන ජනාධිපතිවරයාගේ කඩිනම් මැදිහත්වීම අපේක්ෂා කරන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
