නන්දා මාලනිය වෙනුවෙන් දින 3ක ජාතික ශෝක කාලයක් – අවසන් කැමත්ත අනුව අවමංගල්‍ය කටයුතු

ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය සංකේතයක් වූ ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය විශාරද නන්දා මාලිනී මහත්මියගේ අභාවය හේතුවෙන් අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර ඇත.

මෙම ශෝක කාලසීමාව තුළ දිවයින පුරා පිහිටි සියලුම රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු සහ සංස්ථා පරිශ්‍රයන්හි ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් උපදෙස් ලබා දී තිබේ.

කෙසේ වෙතත්, තම අභාවයෙන් පසු දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීම් ඇයගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් කර ඇති බව පැවසේ.

ආචාර්ය නන්දා මාලිනිය සිය අවසන් කැමති පත්‍රය ඔස්සේ විශේෂ ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, ඇයගේ දේහය නිවසින් බැහැරව වෙනත් කිසිදු පොදු ස්ථානයකට මහජන ගෞරවය සඳහා රැගෙන නොයන ලෙස එහි පැහැදිලිවම සඳහන් කර ඇති බව පැවසේ. එමෙන්ම, අවමංගල්‍ය කටයුතු කිසිදු උත්සවශ්‍රීයකින් තොරව ඉතා චාම් අයුරින් සිදු කරන ලෙස දන්වා ඇති ඇය, තමා වෙනුවෙන් කිසිදු අවමංගල්‍ය සභාවක් පැවැත්වීම, ගුණකථන සිදු කිරීම හෝ ශෝක ප්‍රකාශ කියවීමක් නොකරන ලෙසට ද දැඩි ලෙස ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ඇයගේ මෙම ඉල්ලීම්වලට පූර්ණ ගෞරවය දක්වමින් පවුලේ සාමාජිකයන් විසින් අවමංගල්‍ය කටයුතු සංවිධානය කර ඇති බවයි.

ඒ අනුව, ආචාර්ය නන්දා මාලිනියගේ දේහය අද (සිකුරාදා) පෙරවරු 10.00 සිට නාවල පාරේ, විජයබා මාවතේ පිහිටි අංක 30 දරන “නන්දා මාලිනී සංගීත ආශ්‍රමය” වෙත රැගෙනවිත් තැන්පත් කෙරේ. මහජන ගෞරවය සඳහා දේහය සෙනසුරාදා පස්වරු 3.30 දක්වා එම නිවසේම තැන්පත් කර තැබෙනු ඇත.

සෙනසුරාදා පස්වරු 3.30 ට දේහය නිවසින් බැහැර කර බොරැල්ල කනත්ත වෙත රැගෙන යාමට නියමිත අතර, එදින පස්වරු 5.00 ට ආදාහන කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading