ව්‍යාජ පාස්පෝට් සිද්ධිය: ශෂී වීරවංශ පෙර ඇප මත මුදා හරී

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය කරමින් පනවන ලද වසර දෙකක සිර දඬුවමක් හිමි රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ පෙර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (2) නියෝග කර තිබේ.

ශෂී විරවංශ විසින් වසර දෙකක සිර දඬුවම සහ රුපියල් ලක්ෂයක දඩ මුදලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කර ඇති අතර, එය සලකා බැලීමෙන් අනතුරුව පෙර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර ලබා දී තිබූ එම දඬුවම් නියෝගය කොළඹ මහාධිකරණය මගින් ද ස්ථිර කර තිබූ අතර, එකී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

අද දින විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව, මහාධිකරණය මගින් ස්ථිර කරන ලද දඬුවම් නියෝගය ඇයට කියවා දීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන ඇත. එහිදී, මහාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපීල් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බැවින්, එම ඇපෑල විභාග වී අවසන් වන තෙක් ඇයව පෙර පැවති ඇප කොන්දේසි මතම මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

එසේම මෙම නඩුව නැවත සැප්තැම්බර් මස 28 වන දින කැඳවීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Author

Related Posts