පවනේ අමරණීය ස්වරය නිවී යයි… නන්දා මාලනියන් දැයෙන් සමුගනී…

ශ්‍රී ලාංකේය සුගම සංගීතයේ සදාතනික සලකුණ මෙන්ම, පීඩිත ජනතාවගේ සහ සටන්කාමී තාරුණ්‍යයේ හුස්ම හඬ බවට පත් කළ ‘ජාතියේ යශෝරාවය’, ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනියන් සිය අසමසම ජීවන ගමන නිමා කර තිබේ.

ඇය දැයෙන් සමුගන්නා විට 82 වැනි වියෙහි පසුවූවාය.

1943 අගෝස්තු 23 වන දින අලුත්ගම ලෙවන්දූවේදී උපත ලැබූ ඇය, පසුව කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය. ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරු මාතාවගේ මගපෙන්වීමෙන් ගුවන් විදුලියේ “ළමා මණ්ඩපයට” පිවිසි ඇය, “බුදු සාදු” ගීතයෙන් හෙළ ගී කෙතට අඩිතාලම තැබුවාය. 1961 වසරේ “රන්මුතු දූව” චිත්‍රපටයේ “ගලන ගඟකි ජීවිතේ” ගීතය හරහා පසුබිම් ගායනයට පිවිසි ඇය, ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරා ස්වකීය කෞශල්‍යය පූර්ණත්වයට පත්කර ගත්තාය.

සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළු අප්‍රමාණ ඇගයීම්වලින් පිදුම් ලැබූ ඇය, සිනමාවට සහ සුගම සංගීතයට පමණක් සීමා නොවූවාය. ‘සත්‍යයේ ගීතය’, ‘හේමන්තයේදී’, ‘පෙම්බර ලංකා’ සහ කුඩා දරුවන් වෙනුවෙන් නිමවූ “සින්දු හෝඩිය” වැනි නිර්මාණ හරහා ඇය පරම්පරා ගණනාවකගේ සවනත මෙන්ම මනසද පෝෂණය කළාය.

ශ්‍රී ලාංකේය සුගම සංගීත වංශකතාවේ නන්දා මාලනියන්ගේ භූමිකාව යනු හුදෙක් සවනත පිනවූ ගායනයක්ම නොවේ. 80 දශකයේ අගභාගයේදී විශේෂයෙන්ම ‘පවන’ ඒකපුද්ගල ගීත ප්‍රසංගය හරහා ඇය නිකුත් කළ දැවැන්ත ස්වර තරංගය, එදා මෙදාතුර මෙරට අරගලකාරී, විප්ලවීය සහ සටන්කාමී තාරුණ්‍යයේ හෘද ස්පන්දනය බවට පත් විය. යුගයේ අසාධාරණයන්ට එරෙහිව ඇගේ හඬින් නැඟුණු ඒ රිද්මය නොතිබෙන්නට, ශ්‍රී ලාංකේය තරුණ අරගලයන්ගේ සටන්කාමී අභිමානය මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබිණි. සාමාජීය හා දේශපාලනික නොසන්සුන්තාවන්ගෙන් ගිනිගෙන තිබූ යුගයක, තරුණ පරපුරේ හදවත් තුළ නොපසුබස්නා වීර්යය සහ අයුක්තියට එරෙහි පන්නරය ඇති කිරීමට ඇගේ හඬ සමත් විය.

මියෙන්න පුතුනේ මියෙන්න වධ විඳ… – හෙලන්න පුතුනේ හෙලන්න ලේ කඳ…

කකියන දඬු කුරුසේ…

වාවා ගන්නම් මගෙ හද ඉකිබිඳ– මිරිකා කඳුළු ඇසේ…

“ඔවුන් මගේ පුත්රයාට කටු ඔටුනු පලන්දා

කස පහර දී මුහුණට කෙළ ගසා – කුරුස ගසේ තබා ඇණගසලා…”

යන ගී පද ඛණ්ඩය සවනත පතිත වන මොහොතේ, මව් සෙනෙහසේ උණුසුම අභිමානවත් සටන්කාමීත්වයකට පෙරළිණි. බියගුලු ලෙස දණින් වැටී ජීවත් වෙනවාට වඩා, සත්‍යය සහ යුක්තිය උදෙසා ගෙල පා පෑ මියයාම අභිමානයක් බව ඒ ස්වරයෙන් තාරුණ්‍යයේ සිතැඟි තුළට කිඳා බැස්සවීය.

එපමණක් නොව, පීඩිත බවේ සෙවනැලි අතරින් නැගී සිටින්නට පෙළඹවූ උද්වේගකර යෙදුම්, අසාධාරණ පාලනයන්හි නරුම අත්තිවාරම් සොලවාලන්නට සමත් විය.

“කුරිරු පාලකයින්ගේ හිස මත – වැටෙනා හෙණ හඬ ඔබයි පුතුනි…”

පීඩිතභාවය හිස පාගා මර්දනයේ අඳුරු සෙවනැලි දේශය වසාගන්නා මොහොතක, අසාධාරණය හමුවේ සමාධි සුවයෙන් නිහඬව සිටීම පරම අඥානකමක් බව ලේ සහ කඳුළෙන් සමාජයට උගන්වන ලද්දේ මෙරට අභීත ශිෂ්‍ය වීරයන් විසිනි. පිළිම නෙළා නැති, වාර්ෂික සැමරුම් දින වෙන්ව නැති, නාම පුවරු නැති පස්කඳු යට ම්ලේච්ඡ ලෙස සතපවා දමා ඇති ඒ දහස් ගණන් අතුරුදහන් වූ යෞවනයන්ගේ අඳෝනාවට සහ සටන්කාමීත්වයට සදාතනික ජීවමාන සාක්ෂිය වූයේ නන්දා මාලනියන්ගේ අසමසම ස්වරයයි.

පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳුයට රහසේ …. මිහිකත කම්පා වී… ගුගුරා දෙස්දේවී…

ඇගේ ගීතමය නාදය, මර්දනයේ බියකරු බව හමුවේ අසරණ වූ සමාජයේ හෘද සාක්ෂිය අවදි කිරීමට සමත් විය.

නන්දා මාලනියන් යනු හුදෙක් විප්ලවයට හඬ දුන් ගායිකාවක පමණක් නොවේ; ඇය පිළිම නෙළා නැති ඒ අභීත ශිෂ්‍ය වීරයන් වෙනුවෙන් ඉතිහාසය හමුවේ තැබූ අසමසම ශබ්දමය ස්මාරකයයි. පීඩිතභාවය හමුවේ නිහඬ නොවී නැගී සිටීමට ඇගේ ඒ ගීතමය සාක්ෂිය එදා මෙන්ම මෙදාටද, මතුවටද සදාතනික පන්නරයකි.

සුබ ගමන්!

Author

Related Posts