ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක නොහොත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා අද (අගෝස්තු 20) දින කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කර ඇත.
අද දිනයේ ඔහුට ඇප ලබාදීම හෝ නිදහස් කිරීම පිළිබඳ නියෝගය දීමට නියමිත විය. එමෙන්ම අධිචෝදනා පත්‍රය සංශෝධනය කර ඉදිරිපත් කරන්නේදැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දිමට නියමිත විය.
කෙසේවෙතත් ත්‍රස්ත පනතේ චෝදනාවලින් නදුන් චින්තක ඇතුළු සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවට මහාධිකරණය දුන් නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර ඇතැයි පෙන්වාදුන් විනිසුරුවරයා නීතියෙන් තමාගේ දෑත් බැඳ ඇති බව පැවසීය.
එම නිසා ඇප ලබාදීම හෝ නිදහස් කිරීමට නියෝගයක් නිකුත් කළ නොහැකි බව විනිසුරුවරයා කීය.
එයට ප්‍රතිචාර ලෙස විත්තියේ නීතිඥවරුන් කරුණු දැක් වූ අතර එහිදී මතු කළ ප්‍රධානම කරුණක් වූයේ මහාධිකරණයේ අධිචෝදනා පත්‍රයක් නොමැති පසුබිමක, දැන් සැකකරුවන් රඳවා තබාගැනීමට නීතිමය පදනමක් නොමැති බවය. එමෙන්ම නදුන් චින්තක සහ මිදිගම රුවන්ව රඳවා සිටින වැලිසර බන්ධනාගාරය නිත්‍යානුකූල බන්ධනාගාරයක් නොවන බවත්, නාවික හමුදාවේ රැඳවුම් පහසුකමක් පමණක් බවත් ය.
එහිදී නදුන් චින්තක අත උස්සා ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලීය.
වැලිසර නාවික හමුදා කඳවුරේ තමන්ව රඳවාගෙන සිටින්නේ නාවික හමුදා නිලධාරීන් භාරයේ බව ඔහු කීය. මේ අවස්ථාවේද නිලධාරියෙකු සිටින බව කියා කැමරාව හරවා පෙන්වීය.
තමා තංගල්ලේ රඳවා සිටි සමයේ දණහිසට ආයුර්වේද ප්‍රතිකාර කළ බවත් වැලිසර බන්ධනාගාරයේදී එම ප්‍රතිකාර ලැබීමට ඉඩ නොදෙන බවත් කීය.
මහාධිකරණ විනිසුරුවරයා ඒ අනුව ප්‍රකාශ කර ඇත්තේ සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් යටතේ රඳවා තබන ලෙසත්, සුදුසු ප්‍රතිකාර වෙත යොමු කරන ලෙසත් ය.
මීට පෙර නඩු වාරයේදී රජයේ නීතිඥවරයා මහාධිකරණය හමුවේ පෙන්වා දී තිබුණේ, මෙම විත්තිකරුවන් ඇප මත මුදා හරිනු ලැබුවහොත් ඔවුන් නැවත අධිකරණයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි බවයි.
