වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධියට වැට බඳින දූෂණ විරෝධි සංශෝධන පනත පාර්ලිමේන්තුවට

2023 අංක 9 දරන දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ගැසටි මගින් ප්‍රකාශයට පත්කර තිබූ දූෂණ විරෝධි සංශෝධන පනත් කෙටුම්පත අද (අගෝස්තු 19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවිය.

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු කළාය.

මෙතෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සංස්කරණය කර ප්‍රකාශයට පත්කරන වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කිරීමට මහජනතාවට අවසර තිබූ අතර මෙම සංශෝධනයෙන් දේශපාලනඥයින්ගේ හා රාජ්‍ය නිලධාරින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ නිශ්චිතව සඳහන් කළ පුද්ගලයින් හා ආයතනවලට හැර ප්‍රසිද්ධියට පත්කිරීම තහනම් කර තිබේ.

එම සංශෝධනය සම්බන්ධයෙන් දූෂණ විරෝධය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන හා පුද්ගලයින් විරේධය දැක්වීමෙන් පසු ඇමති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව එම සංශෝධයේ ඇති දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්නොකරන ලෙසට වන වගන්ති සංශෝධනයට ලක්කරන බවයි.

රජයට සියයට 25%ක් හෝ ඊට වැඩි කොටස් හිමි සමාගම් තොරතුරු දැන ගැනීමේ නීතිය යටතට අයත් බවට වූ ප්‍රතිපාදනය මෙම සංශෝධනයෙන් වෙනස් කර ඇති අතර ඒ අනුව රජයට 50%ක් හෝ ඊට වැඩි කොටස් හිමි සමාගම් පමණක් එම නීතිය යටතට පත්කර ඇත.

එමෙන්ම විද්‍යුත් මාධ්‍යවල කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩල සාමාජිකයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු බවට වූ නියමය මෙම සංශෝධනයෙන් ඉවත් කර ඇති අතර එම මාධ්‍ය ආයතනවල හිමිකරුවන්, සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පමණක් එම නීතිය යටතට පත්කර ඇත. එසේ වුවද මුද්‍රිත මාධ්‍යවල කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩල සාමාජිකයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවට වන නියමය ඉවත් කර නැත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading