එල්ටීටීඊ කඳවුරක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මගින් මාධ්‍ය සාකච්ඡාවක් පළ කරමින් තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු අගෝස්තු 18 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්. අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙලෙස සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 46 හැවිරිදි බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ. මෙම සැකකරු අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම අත්අඩංගුවට පත් පුද්ගලයා අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණේ පලෙයි රක්ෂිතයේ රජයේ කැලෑ අක්කර හතළිස් නවයක් පමණ එළිපෙහෙළි කරමින් කොන්ක්‍රීට් තට්ටු තුනක ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවයි.

එම ස්ථානයට දිනකට පුද්ගලයින් විශාල පිරිසක් පැමිණෙන බවත්, එහි එල්ටීටීඊ පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනය කිරීමේ කම්හලක් පවත්වාගෙන යන බවට තමන් සැක කරන බවත් ඔහු එහිදී චෝදනා කර තිබුණා.

එසේම මෙම සිදුවීමට එරෙහිව නඩු හතක් ගොනු කළ පලෙයි අඩවි වන නිලධාරීවරයාට මරණ තර්ජන එල්ල වී ඇති බවත්, දමිළ කණ්ඩායම් විසින් ඔහුව ඝාතනය කිරීමට කොන්ත්‍රාත් ලබා දී ඇති බැවින් අදාළ නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ව කුරුණෑගල ප්‍රදේශයට මාරු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම් රවි සෙනෙවිරත්න මහතා සහ පොලිසිය භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත පෞද්ගලිකවම ලිපි ලේඛන මගින් මේ පිළිබඳව කරුණු වාර්තා කළ බවද සැකකරු සිය අදහස් දැක්වීමේදී ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් අගෝස්තු 18 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් එහි සැබෑ තත්ත්වය පැහැදිලි කරනු ලැබුවා.

අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායන්කුලම් පොලිස් වසමට අයත් කන්නගිපුරම් ග්‍රාම නිලධාරී වසමේ මුක්කන්පන් නැමැති ප්‍රදේශයේ සිදුවූ නීතිවිරෝධී ඉඩම් අත්පත් කරගැනීමක් මෙලෙස විකෘති කරමින් සමාජගත කර ඇති බවයි.

වර්ෂ 2019 දී රක්ෂිතයක් ලෙස ගැසට් කර ඇති මෙම භූමියේ එක්තරා පුද්ගලයෙකු විසින් අනවසරයෙන් අක්කර තිහක පමණ භූමි ප්‍රමාණයක් එළිපෙහෙළි කර වගා කටයුතු සිදුකර ඇති අතර, පසුව එහි තෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළුව ගොඩනැගිලි හතරක් ඉදිකර ඇඟලුම් කර්මාන්තශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බවද අමාත්‍යවරයා පැහැදිලි කළා.

මෙම නීතිවිරෝධී ඉඩම් ආක්‍රමණය සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු හතක් පවරා ඇති බවත්, ඉන් අනතුරුව වන සංරක්ෂණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු නව දෙනෙකු පසුගිය ජූලි 24 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

ඒ අනුව මෙය රජයේ ඉඩම් ආක්‍රමණය කිරීමේ නීතිවිරෝධී සිදුවීමක් පමණක් බවත්, එය පදනම් කරගනිමින් එල්ටීටීඊ කඳවුරක් පවතින බවට අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අදාළ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading