කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයා “රත්මලානේ සයිමා” අද මහනුවර අධිකරණයට

(අසේල කුරුළුවංශ)

මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බව කියන රත්මලානේ සයිමා නැමැත්තා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත බාර දීමෙන් පසු පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අද (12) දින දක්වා අධිකරණයෙන් රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබේ.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ධනුෂ්ක කෞෂල්‍ය නොහොත් රත්මලානේ සයිමා නැමැති 41 හැවිරිදි සැකකරු මහනුවර අධිකරණයට අද (12) ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

මොහු ජයසුමනාරාම පාර රත්මලාන හා පේරාදෙණිය ඒදඬුවාව යන ලිපිනයන් වල පදිංචිව සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

වෙඩි තබා මනුෂ්‍යය ඝාතනයක් සිදු කිරීමට අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් ඇත. පුද්ගලයෙකු 2014 වසරේදී පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබෙන බව පොලීසිය පවසයි.

තවත් තිදෙනෙකු සමඟ 2014 ජනවාරි මස 20 වැනි දින වෑන් රථයක් පැහැරගෙන ගොස් පුද්ගලයෙකුට පිහියෙන් ඇන පොලු වලින් පහරදී ඔහු සතු රුපියල් 15000 ක් වටිනා පෙන්ඩනයක් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුට හා අනෙක් තිදෙනාට පේරාදෙණිය පොලීසිය 2016 ජනවාරි මස බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. එම සිදුවීමට අදාළව සැකකරු 2016 ජූලි මස 14 දින අධිකරණයට බාරවී ඇත.

ගිනි අවියකින් වෙඩි තබා 2016 අගෝස්තු මස පුද්ගලයෙකු ඝාතනය කළ බවටද සැකකරු ඇතුළු තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.
මෙම නඩුව 2020 මාර්තු මස 13 වැනි දින අවසන් වරට කැඳවා තිබෙන අතර සැකකරු අධිකරණය හා පොලීසිය මග හරිමින් විදේශ ගතව ඇත්තේ ඒ අතරවාරයේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading