මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ විශේෂ අවධානය යොමු වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී (10) පෙරවරුවේ රැස් වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභා රැස්වීමේදී මෙම ප්‍රධාන තීරණය පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයා ගන්නා අසීමිත ධනය මත ගොඩනැඟී ඇති අපරාධමය පරිසරය ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට මෙන්ම සමාජ ආචාරධර්ම පද්ධතියට විශාල තර්ජනයක්ව ඇති බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ පිළිබඳව බිය වන සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය විය.
විෂ මත්ද්‍රව්‍ය අභියෝගය ජාතික ව්‍යසනයක් සේ සලකා එය මුලිනුපුටා දැමීම වෙනුවෙන් රට තුළ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක් සහ කඩිනම් මතවාදී පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රටේ අනාගත පරපුර ගොදුරු කරගන්නා මෙම ව්‍යසනයට එරෙහිව ආගමික නායකයින්, දෙමාපියන්, ප්‍රජා සංවිධාන ඇතුළු සියලු පුරවැසියන් වෙත විශාල වගකීමක් සහ කාර්යභාරයක් පැවරී ඇති බවත් ඒ සඳහා රජය සියලු දෙනාගේම සක්‍රීය දායකත්වය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම මත්ද්‍රව්‍ය පාලනයට සහ ඇප ලබා දීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධන සකස් කර අවසන් අදියරේ පවතින බවත් ඒවා කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මෙහිදී අනාවරණය විය.
තවද මත්ද්‍රව්‍ය නඩු ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වූ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස වේගවත් කර ඇති අතර පසුගිය ජූලි මාසයේදී පමණක් රස පරීක්ෂක වාර්තා 6,414ක් නිකුත් කර ඇති බව සඳහන් විය.
සැකකරුවන් බන්ධනාගාරගතව සිටින කාලය අවම කිරීම සඳහා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව නිශ්චිත දත්ත වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලෙසත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බන්ධනාගාරය අතර මනා සම්බන්ධීකරණයෙන් වාර්තා ලැබුණු සැණින් නීතිමය කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම කටයුතු සඳහා නාවික හමුදාවේ සහාය ලබා ගැනීමටත් ආරක්ෂිත කැමරා පද්ධති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමටත් තීරණය කර තිබේ.
මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට යන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් රුපියල් මිලියන 255කට අධික දේපළ හානියක් සිදු වී ඇති බව මෙහිදී අනාවරණය විය.
එමෙන්ම රැඳවියන්ගේ කලහකාරී හැසිරීම් පාලනයට මනෝ වෛද්‍ය සේවාවන් වැඩි කිරීමට ද සාකච්ඡා කර තිබේ.
මීට අමතරව 2007 අංක 54 දරන පුනරුත්ථාපන පනත සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කඩිනම් කිරීමටත් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහැරීමට විශ්‍රාම ගිය පළපුරුදු නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමටත් උපදෙස් දි ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලින් මුදා ගැනීමට අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ එක්ව ක්‍රියාත්මක කරන ‘මිතුරු පාසල’ වැඩසටහනේ ප්‍රගතිය විමසා බලා ඇතිහ් අතර එහිදී ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා උපදේශකවරුන් පුහුණු කිරීම සිදුවන බව එහිදී සඳහන් විය.
විශේෂයෙන් ජාත්‍යන්තර පාසල්වල දරුවන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළ යාම පිළිබඳ මෙහිදී දැඩි අවධානය යොමු වී ඇති අතර දෙමාපියන්ට පෞද්ගලිකව පරික්ෂා කළ හැකි මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඖෂධ සැල් මඟින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවද එම මාධ්‍ය අංශය සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය භාවිතය වළක්වා ගැනීම, මුල් අවදියේම හඳුනා ගැනීම, පුනරුත්ථාපනය, නීති සංශෝධනය සහ ආයතනික වෙනස්කම් සිදු කිරීම, නැවත ඇබ්බැහි වීම වැළැක්වීම, පසු විපරම් කිරීම, සැලසුම් නියාමනය, සමලෝචනය සහ වාර්තා කිරීම යන සංශෝධිත ක්‍රමෝපායන් 06ක් යටතේ ක්‍රියාත්මක බහුආංශික ජාතික උපායමාර්ගික සැලැස්මට අනුව ආයතනික මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කර තිබේ.
