“බන්ධනාගාර තදබදය නෙවෙයි ඇත්තම හේතුව! – බන්ධනාගාර නොසන්සුන්තාව පිටුපස ඇති කුමන්ත්‍රණය ඇමති කියයි

දිවයිනේ බන්ධනාගාර තුළ එක පෙළට මතුවෙමින් තිබෙන නොසන්සුන්තාවන් සහ විරෝධතාවන් කිසිසේත්ම සාමාන්‍ය සිදුවීම් මාලාවක් නොවන බවත් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීමට රජය ගෙන යන ක්‍රියාමාර්ග හමුවේ එම අපරාධකාරී කණ්ඩායම් දැඩි ලෙස තිගැස්සී සිටින බවත් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මෑතකදී බන්ධනාගාර තුළ මතුව ඇති තත්ත්වය බන්ධනාගාර තදබදය මත පමණක් හටගත් එකක් ලෙස බැහැර කළ නොහැකි බව පැවසීය.

බන්ධනාගාර තදබදය යනු පසුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ පැවත එන ගැටළුවක් බවත් එය මෙම හදිසි නොසන්සුන්තාවන්ට සැබෑ හේතුව නම් මීට වසර කිහිපයකට පෙර සිටම එවැනි තත්ත්වයන් මතු විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි පාතාල මර්දන සහ කුඩු ජාලය වැළැක්වීමේ මෙහෙයුම් හේතුවෙන් බන්ධනාගාර ඇතුළට මත්ද්‍රව්‍ය ඇතුළු වීම සම්පූර්ණයෙන්ම පාහේ නවතා දැමීමට හැකි වී ඇති බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි.

රජයේ මෙම සාර්ථක මැදිහත්වීම් හමුවේ දැඩි ලෙස කලබලයට පත්ව සිටින පාතාල සහ කුඩු ජාලයේ පාර්ශ්වකරුවන්, ආණ්ඩුවට එරෙහිව ගත හැකි උපරිම විරෝධතා සහ ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය.

බන්ධනාගාර ඇතුළත කැරලි කෝලාහල ඇති කිරීම, රැඳවියන් අතර ගැටුම් නිර්මාණය කරගැනීම, බන්ධනාගාර පරිපාලනයට සහ නිලධාරීන්ට ඔත්තු සපයන කණ්ඩායම් ඉලක්ක කර මරණ තර්ජන එල්ල කිරීම මෙන්ම පහර දී තුවාල සිදු කිරීම ආදී ක්‍රියාවන් යනු එම අපරාධකාරී ජාලයන්ගේ සාමාන්‍ය “කලාව” බවත් ඔවුන් එම ක්‍රම හරහා ආණ්ඩුවට ප්‍රතිචාර දක්වමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් කුමන අභියෝග හමුවේ වුවද පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය මුලිනුපුටා දැමීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළින් කිසිදු අවස්ථාවක අඩියක් හෝ පස්සට තැබීමට ආණ්ඩුව සූදානම් නැති බවත් ගත් ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසීය.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading