තම පියා වන මහින්ද රාජපක්ෂ මෙන්ම ඔහුගේ පුතෙකු ලෙස තමන්ද දඟකාර බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කෙතරම් චෝදනා කළද ජනතාවගේ සහ ගොවීන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීම කිසිසේත් නතර නොකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමන්ව සිරගත කිරීමෙන් හෝ දේශපාලන පළිගැනීම් කිරීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කර ඇති ජනතා සටන නතර කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවයි.
මෑතකදී බන්ධනාගාර තුළ මතුවූ නොසන්සුන්කාරී සිදුවීම් පිටුපස තමන් සිටින බවට ආණ්ඩුව එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ නාමල් රාජපක්ෂ, බන්ධනාගාරයේ සැබෑ ප්‍රශ්න හඳුනාගැනීමට අදාළ විෂයභාර ඇමතිවරයා අද වන තුරු එකදු බන්ධනාගාරයකටවත් ගොස් නැති බවට චෝදනා කළේය.
බන්ධනාගාර ඇතුළට ගොස් රැඳවියන්ගේ හෝ ඔවුන්ගේ දෙමව්පියන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීමට නොහැකි තරමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් තමන්ගේ අකාර්යක්ෂමතාව වසා ගැනීමට විපක්ෂයට චෝදනා කරමින් සිටින බවත් ඔහු කියා සිටියේය.
රට තුළ පවතින අතිශය බරපතල ප්‍රශ්න වන ගොවීන්ගේ වී සඳහා සහතික මිලක් නොලැබීම, පිටරටින් හාල් ගෙන ඒම, බදු පීඩනය, කන්ටේනර් වංචා සහ රැකියා අහිමි වීම් පිළිබඳව විපක්ෂය ප්‍රශ්න කරන විට ආණ්ඩුව කළබල වී “නාමල්ව හිරේ දමනවා” යැයි කියමින් මාතෘකාව වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන බවද ඔහු පැවසීය.
පොලිසිය ලවා බොරු සාක්ෂි නිර්මාණය කර තමන්ව සිරගත කිරීමට උත්සාහ කළද, මෙරට ස්වාධීන අධිකරණ පද්ධතිය සහ විනිසුරුවරුන් කෙරෙහි තමන්ට පූර්ණ විශ්වාසය පවතින බව පැවසූ නාමල් රාජපක්ෂ, ඕනෑම දේශපාලන අභියෝගයකට මුහුණ දීමට තමන් ඇතුළු පක්ෂය සූදානම් බව වැඩිදුරටත් අවධාරණය කළේය.
