දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට දැනට පවතින වර්ෂාපතන තත්ත්වය එළඹෙන අගෝස්තු 15 වනදායින් පසුව ක්‍රමයෙන් අඩු වී යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, දැනට පවතින නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය සැප්තැම්බර් මාසය දක්වා බලපැවැත්වෙන නමුත් අගෝස්තු මැද භාගයෙන් පසු වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම පවතින එල් නිනෝ කාලගුණික සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තුව දක්වාම සක්‍රීයව පවතිනු ඇති බවත් එමඟින් ඉදිරි ඊසානදිග මෝසම් කාලයට බලපෑම් එල්ල විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
දැනට දැඩි වියළි කාලගුණයක් පවතින උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පවතින වැව් හිඳී යාමේ තත්ත්වයට සහ ජල හිඟයට ස්ථිර සහනයක් ලැබෙනුයේ එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ක්‍රියාත්මක වන අන්තර් මෝසම් වර්ෂාවත් සමඟ බව දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
ඉදිරි මාස කිහිපයේදී එම වියළි ප්‍රදේශවල සුළඟේ වේගය අඩුවීම සහ වායුගෝලීය ආර්ද්‍රතාවය ඉහළ යාම හේතුවෙන් ශරීරයට දැනෙන උෂ්ණත්වය තවදුරටත් ඉහළ යාමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
කෙසේවෙතත් ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම්දෙනවා.
එමෙන්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ සහ නිරිතදිග පළාත් හරහා පැයට කිලෝමීටර් 40-50 දක්වා තද සුළං හමා යා හැකි බවයි.
මුහුදු තීරය පිළිබඳව අවධානය යොමු කරමින් කාලගුණ විද්‍යාඥවරයා සඳහන් කළේ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔප්පුවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ට වඩා වැඩිවිය හැකි බවයි.
එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු මුහුදු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ ඉල්ලීමක් කරයි.
