දේශපාලන අවශ්‍යතා සහ හිතුමතේට ආරම්භ කළ ව්‍යාපෘති හේතුවෙන් රටට විශාල පාඩුවක් සිදුව ඇති බවත්, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙනුවෙන් පමණක් වසරකට රුපියල් බිලියන 2 ත් 4 ත් අතර මුදලක් මෙහෙයුම් හා නඩත්තු පාඩු ලෙස දැරීමට සිදුව ඇති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නිසි ක්‍රමවේදයකින් තොරව ආරම්භ කෙරෙන ව්‍යාපෘති අවසානයේ රටට විශාල බරක් වන “සුදු අලි” බවට පත්වන බවයි.
අතීතයේදී බලයට පත්වූ රාජ්‍ය නායකයන් තමන්ගේ ප්‍රදේශ මුල්කරගනිමින් හිතුමතේට ව්‍යාපෘති ආරම්භ කිරීමේ නරක ආදර්ශයක් පැවැති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පැළවෙන මුල්ගල් හෝ සුදු අලි නිර්මාණය වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
“රාජ්‍ය නායකයා පොළොන්නරුවෙන් බිහිවෙනකොට පොළොන්නරුවට ඕන වෙනවා එයාර්පෝට් එකක්. හදනවා හිඟුරක්ගොඩ Track එකක්. ඊට පස්සේ රාජ්‍ය නායකයා දකුණෙන් එනකොට මත්තල එයාර්පෝට් එකක් ඕනේ. දැන් අද වෙනකොට අවුරුද්දකට රුපියල් බිලියන දෙකත් හතරත් අතර ප්‍රමාණයක් පාඩු ලබනවා මත්තල මෙහෙයුම් සහ නඩත්තු වෙනුවෙන්.”
වර්තමාන රජයේ ප්‍රධාන අභියෝගය වී ඇත්තේ මෙලෙස පාඩු ලබන ව්‍යාපෘති, රටට සහ රජයට ආදායමක් ගෙනදෙන තත්ත්වයට පරිවර්තනය කිරීම බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඒ සඳහා යෝජනා සකස් කර ආයෝජකයන් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.
ආයෝජකයන් ගෙන්වා ගැනීමේදී ඔවුන් ඉල්ලා සිටින යටිතල පහසුකම් ලබාදීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන්තොටුපොළ බලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව තීන්දු තීරණ ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල පිහිටි විශාල ප්රචාරක පුවරු ඉතා අඩු මුදලට සහ අතයටින් සිදුවූ අක්‍රමවත් ගනුදෙනු හරහා ලබාදී තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. එම අක්රමිකතාවන්ට එරෙහිව පැවැති නඩුවෙන් රජයට හිතකර අධිකරණ තීන්දුවක් ලැබුණු බවත්, ඒ අනුව අද දින සිට එම අක්‍රමවත් ප්රචාරක පුවරු ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
ඉදිරියේදී නව ප්රචාරක පුවරු සවිකිරීමේදී තනි තනිව තීරණ නොගෙන, මාර්ග සංවර්ධන අධිකාරිය, සංචාරක දෙපාර්තමේන්තුව සහ ගුවන්තොටුපොළ බලධාරීන් එක්ව ඒකාබද්ධව තීන්දු ගන්නා බවද හෙතෙම අවධාරණය කළේය.
ඉදිරි කාලයේදී බණ්ඩාරනායක ගුවන්තොටුපොළ හරහා පැමිණෙන මගීන් සහ සංචාරකයන් සංඛ්‍යාව ඉහළ යන බවට ඇති පුරෝකථන අනුව, ගුවන්තොටුපොළ ආශ්‍රිතව සිදුවිය හැකි රථවාහන තදබදයට විසඳුම් ලෙස ගුවන් පාලම් (Flyovers) ඉදිකිරීම වැනි යෝජනා ඉදිරිපත්ව ඇති බවද පැවසීය.
එහෙත් එම යෝජනා හිතුමතේ භාර නොගෙන, මාර්ග සංවර්ධන අධිකාරිය, ගුවන්තොටුපොළ බලධාරීන් සහ පරිසර අංශ එක්වූ සංයුක්ත කමිටුවක් හරහා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ (NPD) අනුමැතිය සහ අයවැය ප්‍රතිපාදන සහිතව 2027, 2028 හෝ 2029 වසර වන විට අවසන් කිරීමට ක්‍රමානුකූලව සැලසුම් කරන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනවැඩිදුරටත් පැවසීය.
