පොලිස්පති ගැන සාගරගේ ප්‍රකාශය විමර්ශන කරන්න මහේස්ත්‍රාත්ගෙන් අවසර! ඒක තර්ජනයක් නෙමෙයි” කියමින් සජීව කියූ දේ මෙන්න

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව මහමගදී ඝාතනය වීමේ සූදානමක් පිළිබඳව සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් ඊට අදාළ ඉදිරි විමර්ශන පවත්වාගෙන යාම සඳහා පොලීසියට අවසර ලබාදී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය මරණ තර්ජනයක් එල්ල කිරීමේ අදහසින් කළ එකක් නොවන බවත් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු එවැනි තර්ජනයක් කරන්නේ නැති බවත් එම පක්ෂයේ ප්‍රකාශක සජීව එදිරිමාන්න පවසයි.

සාගර කාරියවසම්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් සජීව එදිරිමාන්න පැහැදිලි කළේ, ලේකම්තුමාගේ ප්‍රකාශය ඇතුළෙහි කිසිවෙකු සම්බන්ධයෙන් මරණ තර්ජනයක් තිබෙනවා යන අදහස බලහත්කාරයෙන් ඔබ්බවන්න උත්සාහ නොකරන ලෙසයි.

එය සමස්ත ප්‍රකාශයේ ඇසුරෙන් තේරුම් ගත යුතු අතර එවැන්නකට චේතනාවක් තිබිය යුතු බව උදාහරණ දක්වමින් පෙන්වා දුන් ඔහු, අවුරුදු 25ක් 30ක් උසාවි ගිය ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වන සාගර කාරියවසම් රටේ සියලු ජාතික මාධ්‍ය ආයතන කැඳවා ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේදි පොලිස්පතිතුමාට මරණ තර්ජනයක් කරයිදැයි ප්‍රශ්න කර සිටියේය.

එක් තැනක් පමණක් බලා එවැනි අදහසක් සාදාගැනීමේ උවමනාවක් ඇති පාර්ශ්ව මෙවැනි උත්සාහයන් ගන්නා බව ඔහු සඳහන් කළේය.

එබැවින් සාගර කාරියවසම්ගේ ප්‍රකාශය අදාළ වන්නේ ශ්‍රී ලංකා පොලීසියේ විනිවිදභාවය, අපක්ෂපාතීත්වය සහ සාධාරණ විමර්ශනය කියන මූලික මූලධර්මවලට පමණක් බව සජීව එදිරිමාන්න වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් මෙම ආණ්ඩුව යටතේ සිටි පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඉතාම ඛේදනීය තීන්දු තුනකට මුහුණ දීමට සිදු වූ බවටත් එබැවින් ආණ්ඩුවට සේවය කිරීම නවතා රජයට සහ ජනතාවට සේවය කරන්නැයි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවටත් පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කර තිබුණී.

මහමාර්ගයේදී “මිනිස්සුන්ගෙන් ගුටිකාලා මැරිච්ච” පොලිස්පතිවරයා ලෙස 37 වැනි පොලිස්පතිවරයා ඉතිහාසගත වෙනවාට තමන් කැමති නැති බවත් ඔහු එහිදී පැවසීය.

සාගර කාරියවසම් මහතාගේ මෙම ප්‍රකාශය අනුමත කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණි.

එහිදී ඔහු කියා සිටියේ මීට පෙර පක්ෂවලට කඩේ ගිය පොලිස්පතිවරුන්ට සහ දේශපාලනීකරණය වූ පොලීසියට සිදු වූ කලදසාව ගැන සිතා බලන ලෙසත් වත්මන් පොලිස්පතිවරයාව අනාථ නොකරන ලෙසත්ය.

ආණ්ඩු පාර්ශ්වයට අභියෝග කරමින් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අවසාන කාලය වන විට මෙවැනි සිදුවීම් සිදුවන බවත් ආණ්ඩුවට කයිවාරු ගසා දඟලමින් බොරු කීමට හැකි වුවද රාජ්‍යය කඩාගෙන වැටුණූ පසු “රාජපක්ෂලාගේ වැඩක්” යනුවෙන් කෙඳිරිගෑමට ලෑස්ති නොවන ලෙසයි.

තමන් හැංගි හොරා වැඩ නොකරන බවත් එය සුදුසු වේලාවට බලාගමු යැයිද ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පරීක්ෂණ ආරම්භ කළ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමඟ මෙම සිදුවීමට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සහ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

Author

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading