හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය විසින් නියම කරන ලද බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති අභියාචන පෙත්සම විභාග කිරීම ලබන සැප්තැම්බර් 23 වන දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
මෙම අභියාචන පෙත්සම අද (06) පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.
අද දින පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර ඉදිරිපත් කළ කරුණු බලමින් විනිසුරු මඩුල්ල පෙත්සම විභාගය සඳහා මෙලෙස සැප්තැම්බර් 23 වන දා නැවත කැඳවීමට නියෝග කර තිබේ.
2015 දෙසැම්බර් 21 වන දින දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නමැති තරුණයා සහ කාන්තාවක් අතර පැවති පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සහායකයින් පිරිසක් විසින් අදාළ තරුණයාව ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ සිද්ධියට අදාළව මෙම නඩුව ගොනුකර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඇගේ සහායකයින් 7 දෙනා අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසුව කොළඹ මහාධිකරණය මගින් ඔවුන්ට අත්හිටුවූ සිරදඬුවම් සහ වන්දි ගෙවීමට නියම කළ අතර, දීර්ඝ නඩු විභාගයකින් පසුව අදාළ චෝදනාවලට වරදකාරිය කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට 2024 ජූනි 28 වන දා කොළඹ මහාධිකරණය මගින් බරපතළ වැඩ සහිත වසර 3 ක සිරදඬුවමක් සහ රුපියල් 20,000 ක දඩයක් නියම කරන ලදී.
