2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා 2026 ජූලි 24 දිනැති ගැසට් පත්‍රයේ පළකරන ලද පනත් කෙටුම්පතේ, වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනයා විසින් භාවිත කළ හැකි ආකාරය සීමා කිරීමට යෝජනා කර ඇති කොටස මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් අදාළ නොවන පරිදි වෙනස් කිරීමට රජය බලාපොරොත්තු වන බව වාර්තා වේ.
අප වෙත අදහස් දැක්වූ රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ සංශෝධනය නැවත සලකා බැලීමට තීරණය කර ඇති බවය. ආරංචිමාර්ග වාර්තා කරන ආකාරයට මෙම සංශෝධනය එකතු කිරීමට හේතුව වී තිබෙන්නේ විවිධ රජයේ ආයතනවල අධ්යක්ෂ මණ්ඩලවලට සහ සභාපති ධුරවලට පත් වූ පෞද්ගලික අංශයේ සහ විවිධ වෘත්තීන්හි නියැලුණු පුද්ගලයන්ගේ ඉල්ලීමකි. එවැනි පුද්ගලයන් තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වේයැයි බියෙන් රජයේ තනතුරුවලට පත් වීමට මැලිකමක් දක්වන බව එම ප්‍රකාශකයා පැවසීය.
ඒ අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනෙකුත් තේරී පත්වූ මහජන නියෝජිතයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමෙන් පසුව ඒවා පරීක්ෂා කිරීමට, මාධ්‍යවල පළ කිරීමට, සංසන්දනය කිරීමට සහ අදාළ බලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට දැනට පවතින අවකාශය ආරක්ෂා වන පරිදි පනත් කෙටුම්පත වෙනස් කිරීමට නියමිතය. එහෙත්, රජයේ තනතුරු දරන වෙනත් පුද්ගලයන්ට අදාල සංශෝධනය අදාල වනු ඇත.
මෙම තීරණය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනයක් ලෙස ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත්, යෝජිත නව පාඨය මෙතෙක් නිල වශයෙන් ප්‍රසිද්ධ කර නොමැත.
යෝජිත සීමාව කුමක්ද?
දැනට ගැසට් කර ඇති දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතෙන්, 2023 අංක 9 දරන පනතේ 88 වැනි වගන්තියට අලුත් 88(1අ) උපවගන්තියක් ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ.
එම යෝජිත උපවගන්තිය අනුව, වෙනත් පුද්ගලයකුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයක සංස්කරණය කළ පිටපතක් ලබාගන්නා පුද්ගලයකුට එය පනතේ 86 වැනි වගන්තිය යටතේ නිලධාරියකුට හෝ ආයතනයකට ඉදිරිපත් කිරීම හැර වෙනත් කාර්යයකට භාවිත කිරීමට නොහැකි වේ.
එම ප්‍රකාශය අදාළ පුද්ගලයාගේ රහස්‍යභාවය උල්ලංඝනය වන අයුරින් භාවිත කිරීම වරදක් ලෙස සැලකීමටද කෙටුම්පතෙන් යෝජනා කර ඇත.
එවැනි වරදකට මහේස්ත්‍රාත් අධිකරණයක ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු වන පුද්ගලයකුට රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයක්, වසරක් නොඉක්මවන සිරදඬුවමක් හෝ දඬුවම් දෙකම නියම කළ හැකි බව කෙටුම්පතේ සඳහන් වේ.
මෙම විධිවිධානය එලෙසම නීතියක් බවට පත්වුවහොත්, මහජනතාවට වත්කම් හා බැරකම් ප්‍රකාශයක් ලබාගැනීමට හැකි වුවද එය ප්රවෘත්ති වාර්තාවක්, විශ්ලේෂණයක්, දත්ත සංසන්දනයක් හෝ මහජන සංවාදයක් සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් නීතිමය අවදානමක් ඇතිවිය හැකි බව මාධ්‍ය සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දී තිබුණි.
විශේෂයෙන්ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල කොටස් සහ ඡායාරූප මාධ්‍ය හා සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් පසුව මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇති බවටද ඇතැම් පාර්ශ්ව චෝදනා කළහ.
එම විවේචන හමුවේ, මහජන නියෝජිතයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවලට අදාළව මෙම සීමාව ක්‍රියාත්මක නොවන පරිදි නව විධිවිධානයක් ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව රජයේ ප්‍රකාශකයා සඳහන් කළේය.
දැනට පවතින නීතිය
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 88(1) වගන්තිය යටතේ මහජනයාට ප්‍රවේශ විය හැකි සෑම වත්කම් හා බැරකම් ප්‍රකාශයකම සංස්කරණය කළ පිටපතක් කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මගින් නිකුත් කළ යුතුය.
එහිදී ප්රකාශකයාගේ සහ ප්‍රකාශයේ සඳහන් අනෙකුත් පුද්ගලයන්ගේ නිවසේ ලිපින, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංක, විදේශ ගමන් බලපත්‍ර අංක, බැංකු ගිණුම් අංක සහ තැන්පතු පිළිබඳ ඇතැම් තොරතුරු ඉවත් කළ යුතුය.
ඒ අනුව පවතින නීතිය යටතේ දැනටමත් පුද්ගලික සහ සංවේදී තොරතුරු ඉවත් කර සංස්කරණය කළ පිටපත් පමණක් මහජනයාට ලබාදීමට නියම කර තිබේ.
එසේ තිබියදී, එම සංස්කරණය කළ පිටපත භාවිත කළ හැකි ආකාරය තවත් සීමා කිරීම ප්රජාතන්ත්රවාදී වගවීම, මාධ්‍ය නිදහස සහ දූෂණ විරෝධී මහජන පරීක්ෂාව දුර්වල කළ හැකි බව විවේචකයන්ගේ අදහස වී තිබුණි.
86 වැනි වගන්තියෙන් අවසර දෙන භාවිතය
යෝජිත සීමාව යටතේ වත්කම් ප්‍රකාශයක් භාවිත කිරීමට පැහැදිලිව අවසර ලැබෙන්නේ එය පනතේ 86 වැනි වගන්තියේ සඳහන් නිලධාරියකු හෝ ආයතනයක් වෙත ඉදිරිපත් කිරීම සඳහා පමණි.
86 වැනි වගන්තිය යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශයක් ඉල්ලා පරීක්ෂා කළ හැකි නිලධාරීන් සහ ආයතන අතර නීතිපතිවරයා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා, පොලිස්පතිවරයා, රේගු අධ්යක්ෂ ජනරාල්වරයා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ නම් කරන ලද නිලධාරීන් ඇතුළත් වෙති.
එම නිසා කෙටුම්පතේ වර්තමාන පාඨය අනුව පුරවැසියකුට වත්කම් ප්‍රකාශයක් ලබාගෙන නිසි බලධාරියකුට පැමිණිල්ලක් කිරීමේ හැකියාව පැවතුණද, එය මාධ්‍ය වාර්තාවක් හෝ මහජන විශ්ලේෂණයක් සඳහා භාවිත කිරීමට ඇති හැකියාව සීමා විය හැකිය.
