සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව සම්මත විය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් 2026 ජූලි 21 වැනි දින මෙම සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා සභාවට ඉදිරිපත් කර තිබුණි.
කෙසේවෙතත් අද දින විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා, “අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කොට සංශෝධනය කරන්නේ රට තුළ දැඩි සංවාදයකට ලක්ව ඇති “සත්ව සුබසාධන පනත” නොව, 1958 අංක 29 දරන “සත්ව පනත” බවත්, සත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු ඉදිරියේදී සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳා ගැනීමට පියවර ගන්නා බවත්” පැවසීය.
පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අද දින විවාදයට ගත් සත්ව සංශෝධන පනත හේතුවෙන් පාර්ලිමේන්තුවෙන් පිටත සමාජය තුළ සත්ව සුබසාධන පනත සමඟ පටලවා ගැනීමක් සිදුව ඇති බවයි.
සත්ව සුබසාධන පනත් කෙටුම්පත දැනට ගැසට් කර තිබුණද, ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මහ පෙරහැරවල අලි ඇතුන් යොදාගැනීමට අදාළව විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා පැනනැගී ඇති බැවින් අදාළ අංශ, සංඝරත්නය සහ සංවිධාන සමඟ ඉදිරි දිනවලදී තවදුරටත් සාකච්ඡා පවත්වා කිසිදු කෙනෙකුට ගැටලුවක් නොවන පරිදි එය ඉදිරියට ගෙන යන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
1958 අංක 29 දරන සත්ව පනත ගෙනෙන අවධියේදී එළහරකා සහ මීහරකා කෘෂිකර්මාන්තයට සහ ප්‍රවාහනයට ප්‍රධාන ලෙස යොදාගත් බැවින්, එවකට “සතා” යන්න අර්ථ නිරූපණය කර තිබුණේ එම සතුන් දෙදෙනාට පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නමුත් වර්තමානයේ පශු සම්පත් ක්ෂේත්‍රය සංවර්ධනය වී ඇති පසුබිමක සහ මෑතකදී පැතිර ගිය “අප්‍රිකානු ඌරු උණ” වැනි රෝගයන්ගෙන් කර්මාන්තයට සහ ගොවීන්ගේ ආර්ථිකයට සිදුවූ දැවැන්ත බලපෑම සැලකිල්ලට ගනිමින් අවිධිමත් ලෙස සතුන් ප්‍රවාහනය කිරීම පාලනය කිරීම සඳහා මෙම සංශෝධනය ගෙන ආ බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මීට පෙර ගවයන් සහ මී ගවයන් ප්‍රවාහනය කිරීමේදී පමණක් බලපැවැත්වූ මෙම නීතිමය රාමුව, නව සංශෝධනය මගින් එළුවන්, බැටළුවන් සහ ඌරන් ප්‍රවාහනය කිරීම දක්වා දීර්ඝ කෙරේ.
ඒ අනුව ඉදිරියේදී මෙම සතුන් ප්‍රවාහනයේදීද නීත්‍යානුකූල බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය වන අතර සතුන්ගෙන් මිනිසුන්ට සහ සතුන් අතර සංක්‍රමණය විය හැකි ලෙඩ රෝග ව්‍යාප්ත වීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ බව ලාල්කාන්ත අමාත්‍යවරයා පැවසූහ.
සුළු පරිමාණයෙන් සූකර සහ සත්ව පාලනයේ යෙදෙන ගම්බද ජනතාවගේ ආර්ථිකයට මෙයින් බාධාවක් නොවන පරිදි අමාත්‍යාංශයේ නීති අංශ හරහා නම්‍යශීලී රෙගුලාසි සකස් කරන බවත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අපනයන ක්ෂේත්‍රය දක්වා මෙම කර්මාන්තය දියුණු කිරීමට මෙම සංශෝධනය අත්‍යවශ්‍ය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා කියා සිටියේ, දැනට පවතින සත්ව සුබසාධන නීති 1907 යටත්විජිත යුගයේ ඇති කරන ලද ඒවා බවයි.
වර්තමානයේ බල්ලන්, පූසන් වැනි හුරුබුහුටි සතුන් ඇතිදැඩි කිරීම සහ පෙරහැරවල අලි ඇතුන් යොදාගැනීම වැනි සංස්කෘතික කරුණු ද සැලකිල්ලට ගනිමින්, සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට සත්ව සුබසාධන පනත් කෙටුම්පතද ඉක්මනින්ම සම්පාදනය කරගන්නා බවයි.
