අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත.
පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය මඟින් ලබා දුන් නියෝගයකට අනුව 2020 අගෝස්තු 25 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඔහුව මෙසේ උසස් කර තිබේ.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් අද (07) පස්වැරුවේ ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරමින් අදාළ නිල පොලිස් පණිවිඩය නිකුත් කළේය.
මෙම උසස්වීමත් සමඟම ඔහු හෙට දින සිට ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ දැවැන්ත හා සංකීර්ණ අපරාධ විමර්ශන රැසකට නායකත්වය දුන් ප්‍රමුඛතම විමර්ශකයකු වන ශානි අබේසේකර මහතා, තරුණ භික්ෂුන් වහන්සේලා අටනමකගේ සහභාගීත්වයෙන් සිදුවූ රාජකීය පණ්ඩිත පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් ඝාතනය කිරීමේ අතිශය අභිරහස් නඩුව සාර්ථකව විමර්ශනය කරමින් චූදිතයන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කළේය.
එකල මහත් ආන්දෝලනයකට තුඩු දුන් රෝයල් බේකරියේ අයිතිකරුගේ පුත්‍රයා පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අපරාධකරුවන් කොටුකර ගැනීමට සමත් වූ ඔහු, තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතික ඛුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතියට බරපතල ලෙස අමානුෂික හිංසා පැමිණවීමේ නඩුවේ ප්‍රධාන විමර්ශනය මෙහෙයවමින් ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු පිරිසට දඬුවම් පැමිණවීමටද මූලිකත්වය ගත්තේය.
එමෙන්ම ඇඟලුම් ව්‍යාපාරික කර්තේසන් මහතාව පැහැරගෙන ගොස් කප්පම් ලබාගැනීමෙන් අනතුරුව සිදුකළ ඝාතනය පිළිබඳ විමර්ශනය කර වගකිවයුත්තන්ට දඬුවම් ලබා දීමට කටයුතු කළ අතර ප්‍රකට ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිස සම්බන්ධ බව අනාවරණය කරගනිමින් පූර්ණ විමර්ශනයක් මෙහෙයවන ලදී.
මීට අමතරව අඟුණකොළපැලැස්සේදී සිදු වූ හිටපු භාණ්ඩාගාරික ප්‍රේමරත්න ඝාතනයේ අභිරහස හෙළිදරව් කරගැනීමට සමත් වූ ඔහු, සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ නඩුව සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණද අධීක්ෂණය කළේය.
ප්‍රකට රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සැකකටයුතු මරණය පිළිබඳ විමර්ශනය, රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ, සහ රත්නපුර මහසෙන් මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට කඩා වැදී රුපියල් කෝටි 70කට අධික වටිනාකමකින් යුත් මැණික් හා ස්වර්ණාභරණ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ අතුරුගිරිය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද ඔහුගේ නායකත්වයෙන් සිදු විය.
එමෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධානතම විමර්ශන කිහිපයකටම ඔහු ස්වකීය සේවා කාලය තුළ නායකත්වය ලබාදී තිබේ.
