දින 180 ඉක්මවූ අනියම් සහ කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කිරීමට පියවර ගන්න – රක්ෂණ සේවක සංගමය

2026 අයවැය යෝජනාවලට අනුකූලව, රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල දින 180කට වඩා සේවය කර ඇති තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනමේ සේවකයන් වහාම ස්ථිර සේවයට ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා ලෙස රක්ෂණ සේවක සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

දිවයින පුරා විවිධ රාජ්‍ය ආයතනවල මෙලෙස ස්ථිර නොවන පදනම මත සේවයේ යෙදී සිටින පිරිස 30,000 කට අධික වන බව අදාළ රක්ෂණ සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ජනාධිපතිවරයා විසින් 2026 අයවැය යෝජනා මඟින් ප්‍රකාශ කළ පරිදි, අදාළ තනතුරු ඇති කරමින් හෝ පවතින තනතුරු සඳහා මෙම සේවකයන් අනුයුක්ත කරමින් ස්ථිර සේවයට ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බව සංගමය පෙන්වා දෙයි.

2026 අයවැය යෝජනාවලින් පසුව ඇතැම් පළාත්වල මෙලෙස දින 180 සේවා කාලය සම්පූර්ණ කළ සේවකයන් ස්ථිර කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බව සංගමය පවසයි.

විශේෂයෙන්ම, 2026.04.30 දිනැති අංක 11/2026 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුගත වෙමින්, උතුරු පළාතේ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා 2026.05.08 දින නියෝග කර ඇත්තේ දින 180කට වඩා සේවය කර ඇති සේවකයන් සති දෙකක් ඇතුළත ස්ථිර සේවයට ඇතුළත් කරන ලෙසයි.

එබැවින් දැනටමත් තනතුරු අනුමත කර ඇති ආයතනවල සේවයේ නිරත සියලුම අනියම් සහ කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කිරීමට කටයුතු කරන ලෙසත්, තනතුරු අනුමත වී නොමැති ආයතන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සහය ලබාගෙන අවශ්‍ය තනතුරු ඇති කර අදාළ සේවකයන් ස්ථිර කිරීමට කටයුතු කරන ලෙසත් රක්ෂණ සේවක සංගමය අවධාරණය කරයි.

එසේ නොමැතිව දින 180 සේවා කාලය ඉක්මවූ සේවකයන් තවදුරටත් තාවකාලික හෝ අනියම් පදනම මත පවත්වාගෙන යන්නේ නම්, ඒ පිළිබඳව තම සංගමය වෙත දැනුම් දෙන ලෙසත්, එම සේවකයන්ගේ සේවය ස්ථිර කරවා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවත් සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මෙවැනි ගැටලුවලට මුහුණ දී සිටින සේවකයන්ට හෝ සේවක සංවිධානවලට පහත ලිපිනය ඔස්සේ තම සංගමය ඇමතීමට හැකි බව රක්ෂණ සේවක සංගමය වැඩිදුරටත් දැනුම් දෙයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading