උසස් පෙළ කල් දැමීමේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කර තිබේ.

ඉදිරි උසස් පෙළ විභාගය සඳහා පළමු වරට සහ දෙවන වරට පෙනී සිටීමට නියමිත සිසුන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් විසින් විභාගය කල් දමන ලෙස ඉල්ලා සිටිය ද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව තීරණය කරමින් එය ආරම්භක අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කිරීමට පියවර ගෙන තිබේ.

එසේම උසස් පෙළ විභාගය මාස දෙකක කාලයකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක්ද පසුගිය ජුලි මස 23 වැනි දින අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බව වාර්තා වේ.

2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු මස 10 වෙනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබිණි. ජූනි 8 වෙනිදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අගෝස්තු 10 වනදා සිට සැප්තැම්බර් මස 05 වෙනිදා දක්වා කාලය තුළ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථානවලදී අදාළ විභාග කටයුතු සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading