දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2024 ජුනි 30 වන විට හිඟ බදු, දඩ හා පොලී වශයෙන් රුපියල් මිලියන 961,448ක මුදලක් අයවීමට තිබූ බව ඒ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවේ සඳහන් කරයි.
එම මුදලින් තාවකාලිකව අත්හිටුවා තිබූ හිඟ බදු, දඩ හා පොලී මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 793,082ක් බවත්, අයකරගත හැකිව තිබූ හිඟ බදු, දඩ හා පොලී මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 168,366ක් බවත් එහි සඳහන් කරයි.
2024 ජුනි 30 දින වන විට මුළු හිඟ බදු හා දඩ මුදල් අයවීමේ ප්‍රතිශතය සියයට 17ක ප්‍රමාණයක පැවති බව නිරීක්ෂණය වූ බවත්, 2023 ජුනි 30 දිනට සාපේක්ෂව 2024 ජුනි 30 දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ත හිඟ බදු, දඩ හා පොලී මුදල රුපියල් මිලියන 18,445කින් වැඩිවී තිබුණ බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම තාවකාලිකව අත්හිටවූ හිඟ බදු, දඩ හා පොලී මුදලින් රුපියල් මිලියන 390,774ක් වර්ෂ 02ක කාලය ඉක්මවූ ශේෂයන් බවත්, ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හිඟ බදු මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාණවත් කාර්යක්ෂමතාවකින් යුතුව ක්‍රියාත්මක නොකරන බව නිරීක්ෂණය වන බවත් සඳහන් කරයි.
