අධිකරණ ක්ෂේත්රයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස තවදුරටත් දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සිය දැඩි විරෝධය පළ කරන අතර එක් ක්ෂේත්රයකට පමණක් සීමා නොකර සමස්ත රාජ්‍ය සේවයේ සියලු තනතුරුවල විශ්‍රාම යාමේ වයස නිශ්චිත කාලසීමාවකින් ඉහළ දමන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති මධ්‍යස්ථානය (2026.08.03) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් ඉල්ලා සිටී.
අධිකරණවල පවතින නඩු කටයුතු ඉක්මනින් නිමකිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව රජය පැවසුවද, මෙලෙස විශ්‍රාම වයස වැඩි කිරීමෙන් එම අරමුණ කිසිසේත්ම ඉටු නොවන බව නීති විද්වතුන් මෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද පෙන්වා දී ඇති බව එම සංගමය සඳහන් කරයි.
මෙවැනි පදනම් විරහිත සංශෝධනයන් හරහා අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු මෙන්ම අනියම් බලපෑමක් එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බව පෙන්වා දෙන රාජ්‍ය සේවා වෘත්තීය සමිති මධ්‍යස්ථානය, මේ පිළිබඳව නැවත වරක් ගැඹුරින් සලකා බලන ලෙස ජනාධිපතිවරයා ඇතුළු සමස්ත රජයෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියි.
එසේම, මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු කටයුතු ප්‍රමාද වීම සඳහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස කිසිසේත්ම බලනොපාන බවත්, ඒ සඳහා බලපා ඇති වෙනත් ප්‍රධාන හා පද්ධතිමය ගැටලු ගණනාවක් පවතින බවත් නීති ක්ෂේත්රයේ විද්වතුන් පෙන්වා දී ඇත. එම සැබෑ ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදී, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පමණක් සංශෝධනය කිරීමට යාම සම්පූර්ණයෙන්ම ඵල රහිත ක්‍රියාවක් බව ද එම සංගමය අවධාරණය කරයි.
තවද, සමස්ත රාජ්‍ය සේවයම නොසලකා හැර යම් තෝරාගත් විශේෂිත අංශවල පමණක් මෙලෙස විශ්‍රාම වයස සංශෝධනය කිරීමට කටයුතු කිරීම තුළින් රට තුළ තවත් සංකීර්ණ සමාජ හා වෘත්තීය ගැටලු ගණනාවක් නිර්මාණය වීමේ තත්ත්වයක් උද්ගත විය හැකි බව ද එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, එල්ල වන දැඩි විවේචන නොසලකා රජය මෙම සංශෝධන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ නම්, රාජ්‍ය අංශයේ ඇති විය හැකි අර්බුදකාරී තත්ත්වයන් වැළැක්වීම සඳහා මෙම විශ්‍රාම වයස ඉහළ දැමීම එක් ක්ෂේත්රයකට පමණක් සීමා නොකර සමස්ත රාජ්‍ය සේවයේ සියලු තනතුරුවල විශ්‍රාම යාමේ වයස නිශ්චිත කාලසීමාවකින් ඉහළ දමන ලෙස එම මධ්‍යස්ථානය යෝජනා කර සිටියි.

Nodhaganna meme goyiyo wayasa wadi karanne. Wadiyen wadakarana .thiyena block eka adu karanna.