(අසේල කුරුළුවංශ)
ගිනිගත්හේන බ්ලැක්වෝටර් වතුයායේ වතු කම්කරුවන් ඊයේ (04) දින පස්වරුවේ ගිනිගත්හේන නාවලපිටිය ප්රධාන මාර්ගයේ බ්ලැක්වෝටර් වතුයායට පිවිසෙන බගතොලුව ප්රදේශයෙන් ප්රධාන මාර්ගයෙන් අවහිර කර උද්ගෝෂණයක නිරතවිම හේතුවෙන් එම මාර්ගයෙන් ගමනා ගමනය පැයක පමණ කාලයක් ඇනහිට තිබුණි.
එම වතුයාය හරහා මහවැලි ගඟට ජලය ගලා බසිනා බ්ලැක්වෝටර් ඔය පිටාර ගැලීම නිසා නිවාස 24කට අයත් සාමාජිකයන් 100 දෙනෙකු පමණ වසර 40ක් පමණ කාලයක් දැඩි ලෙස පීඩාවට පත් වෙමින් සිටින බවත්, බ්ලැක්වෝටර් ඇළ අසළ තම නිවාස ඉදි කර තිබෙන නිසා ඒ වෙනුවට එම වතුයායෙම වෙනත් ස්ථානයක අලුතින් නිවාස ඉදි කර දෙන බවට වතුකරය නියෝජනය කළ දේශපාලඥයන් අවස්ථා ගණනාවකදී පොරොන්දු වුවත් එම පොරොන්දු මෙතෙක් ඉටු කර නොදීම හමුවේ තමන් තව දුරටත් පීඩාවට පත් වන බවයි උද්ගෝෂණයේ නිරතව සිටි බ්ලැක්වෝටර් වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේ.
පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන්ද පවුල් 24කට අයත් සාමාජිකයන් එම වතුයායේ ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව රදවා ඇති බවත්, මෙයට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙසට බල කරමිනුයි එම වතුයායේ වතු කම්කරුවන් උද්ගෝෂණයේ නිරත වූයේ.
ප්රධාන මාර්ගය අවහිර කරමින් එම වතුයායේ වතු කම්කරුවන් උද්ගෝෂණය කිරිම හමුවේ ගිනිගත්හේන පොලිසියේ නිළධාරින් එම ස්ථානයට ගොස් මාර්ගය අවහිර නොකරන ලෙසට කල ඉල්ලීමක් මත පොලිසිය සහ උද්ගෝෂකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
වතුකම්කරුවන්ගේ ගැටළුවට විසදුමක් ලබා දීමට වග කිය යුතු අංශ සම්බන්ධ කර දෙන බවට ගිනිගත්හේන පොලිසියේ නිළධාරින් පොරොන්දු වීමෙන් පසු උද්ගෝෂණයේ නිරත සිටි පිරිස හමුවේ පැවසීමෙන් පසු උද්ගෝෂණය නතර කිරිමට එම වතුයායේ වතු කම්කරුවන් පියවර ගැනින.
ගිනිගත්හේන බ්ලැක්වෝටර් වතුයායේ වතු කම්කරුවන්ගේ පීඩාව සම්බන්ධයෙන් සොයා බැලිමට (05) දින නුවරඑළිය දිස්ත්රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීරආරච්චි මහතා එම වතුයායට ගොස් පීඩාවට පත් වතුකම්කරුවන් සමග සාකච්ඡා කර කඩිනමින් ඉඩමක් සොයාගෙන වත්මන් රජය යටතේ අලුතින් නිවාස ඉදි කර දෙන බවට පොරොන්දු විය.
අලුතින් නිවාස ඉදි කරන තෙක් යලිත් බ්ලැක්වෝටර් ඔය පිටාර ගැලුවහොත්, පීඩාවට පත් ජනතාවට ගිනිගත්හේන ශ්රී අභිනවාරාම විහාරස්ථානය වෙත යන ලෙසද මන්ත්රීවරයා පීඩාවට පත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

