පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සහ උතුරු නැගෙනහිර හා මලෛයගම් ජනතාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව දෙමළ කතාකරන ජනතාව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර ඇත.
ඒ අගෝස් 03 දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවකදී වන අතර ඉලංකෙයි තමිල් අරසු කච්චි නියෝජනය කරමින් එම් ඒ සුමන්තිරන් හා ෂානකිකියන් රාසමානික්කම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් රවුෆ් හකීම් හා නිෂාම් කාරියප්පර්, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරමින් වී රාධක්‍රිෂ්ණන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් අමීර් අලී, ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් ජීවන් තොන්ඩමාන්, ප්‍රජාතන්තවාදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සෙල්වම් අඩෛක්කලනාදන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.
එම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේ එම දේශපාලන පක්ෂ ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව එම සාකච්ඡාව පවත්වා තිබුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරය බව එම සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසු බව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
