අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල ගමන් ගන්නා සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් නිකුත් කළ නියෝගයට අදාළව ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කිරීමේ සංශෝධිත නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (3) හිමිව තිබේ.
දිනෙන් දින ඉහළ යන රිය අනතුරු සංඛ්‍යාව පාලනය කිරීම, මරණ අවම කරගැනීම සහ බරපතල තුවාල සිදු වීම වැළැක්වීමේ අරමුණින් මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ මෙම පියවර ගෙන ඇත.
නිෂ්පාදකයන් විසින් ආසන පටි සවි කර නොමැති වාහන සඳහා ආසන පටි විධිමත් පරිදි සවි කරගැනීමට ලබා දී තිබූ සහන කාලය 2026 ජූනි 19 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, අදාළ පාර්ශ්වයන් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම සහන කාලය 2026 සැප්තැම්බර් 19 දින දක්වා තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව, 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝගය සංශෝධනය කරමින් නිකුත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් නිවේදනය ඉදිරි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
