මධ්‍යම කඳුකර ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල පිහිටි පාසල් පවත්වාගෙන යාම පිළිබඳ තීරණය කිරීමේ බලය ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පැවරීමට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා පියවර ගෙන තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින්, ප්‍රදේශයේ පවතින තත්ත්වය මත පාසල් පැවැත්වීම හෝ වසා දැමීම සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගන්නා බව හැටන් ආශ්රිත ප්‍රදේශවල විදුහල්පතිවරු පවසති. ඒ අනුව හැටන් සහ නුවරඑළිය ප්‍රදේශ වල පාසල් බොහෝ ප්‍රමාණයක් අද දින වසා ඇති බව වාර්තා වේ.
ඊයේ රාත්‍රියේ සිට පැවති දැඩි වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයකටම පස්කඳු හා ගල් පෙරළීම නිසා ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල වී ඇත. අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතුවලට බාධා මතුව ඇති අතර, ගම්පොළ – නාවලපිටිය මාර්ගයේ උලපන ප්‍රදේශයෙන් මාර්ගයට පස් කඩා වැටී ගල් පෙරළීම නිසා එහි රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා වී තිබේ.
එසේම, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම විශාල පස්කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව වාර්තා වේ.
පස්කඳු සහ ගල්පර්වත මාර්ගයට පතිත වීම නිසා හැටන් සිට ගිනිගත්හේන, නාවලපිටිය, මහනුවර සහ කොළඹ දෙසට ගමන් ගන්නා වාහන මෙන්ම එම ප්‍රදේශවල සිට පැමිණෙන වාහනද මාර්ග දෙපස සිරවී ඇති අතර මගීහු දැඩි අපහසුතාවට පත්ව සිඇති බව වාර්තා වේ.
මාර්ග සංවර්ධන අධිකාරිය සහ ප්‍රදේශවාසීන් එක්ව පස්කඳු ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
අධික වර්ෂාපතනයත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, නාවලපිටිය සහ ඊට ආසන්න පහත්බිම් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමේ අවදානමක් හටගෙන තිබේ. නාවලපිටිය ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වල පිහිටි නිවාස, වෙළඳසැල් සහ සංචාරක හෝටල් කිහිපයකටද ජලය ඇතුළු වී ඇති බව වාර්තා වේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මහවැලි ගඟ ද්‍රෝණියේ පස්බාගේ කෝරළය, උඩපළාත සහ ගඟඉහළ කෝරළය ඇතුළු පහත්බිම් ආශ්‍රිතව වෙසෙන ජනතාවට දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව පසුවන ලෙස ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
එසේම මහනුවර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ නිසා පේරාදෙණිය කළු පාලමේ (යකා පාලම) ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදවා තිබූ යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ ගංවතුරට හසුව යටවී ඇති අතර, සමහර යන්ත්‍ර සූත්‍ර සැඩ පහරට හසුවී පහළට ගසාගෙන ගොස් තිබේ. මීට පෙර සිදුවූ හානි පිළිසකර කරමින් පැවති පාලමේ ඉදිකිරීම් කටයුතුවලට මෙම හදිසි ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දැඩි බාධා එල්ල වී ඇත.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහවැලි ගඟ දෙපස සහ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පහත්බිම් කොටස් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, ජල මට්ටම තවදුරටත් ඉහළ ගියහොත් ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් අදාළ අංශ දැඩි ලෙස දැනුම් දී ඇත.
නාවලපිටිය, සෝලංකන්ද ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට හදිසියේ පස්කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ 67 හැවිරිදි පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
