දිට්වා නිසා නාය ගිය ප්‍රදේශ යළි අවදානමක – දිස්ත්‍රික්ක 4කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්!

පසුගිය දින කිහිපය පුරා ඇදහැලුණු වර්ෂාපතනය සහ ඊයේ දිනයේදී ලැබුණු අධික වර්ෂාපතනය සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ඊයේ (2) රාත්‍රියේ නිකුත් කර තිබේ.

ඉදිරි දින කිහිපයේදීත් යම් තරමක වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති අතර, ඒ අනුව නායයාමේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙයි.

අදියර 2 (අම්බර් / Level 2) – අවධානයෙන් සිටින්න

පහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අශ්‍රිත ප්‍රදේශ සඳහා දෙවන අදියරේ අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කර ඇත.

  • මහනුවර දිස්ත්‍රික්කය: පස්බාගේ කෝරළේ, උඩුදුම්බර, උඩපළාත, ගඟ ඉහළ කෝරළය
  • කෑගල්ල දිස්ත්‍රික්කය: යටියන්තොට, අරණායක
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව කෝරළේ, නෝවුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, තලවකැලේ, නුවරඑළිය
  • රත්නපුර දිස්ත්‍රික්කය: රත්නපුර, ඉඹුල්පේ, ඕපනායක
අදියර 1 (කහ / Level 1) – විමසිලිමත් වන්න

පහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු අදියරේ විමසිලිමත්ව සිටීමේ නිවේදන ක්‍රියාත්මක වේ

  • මහනුවර දිස්ත්‍රික්කය: මැදදුම්බර, පන්විල
  • කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට, කෑගල්ල
  • රත්නපුර දිස්ත්‍රික්කය: නිවිතිගල, කුරුවිට

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනයත් සමග ඉතා කෙටි කාලයක් තුළ අධික වැසි ලැබෙන බැවින් පස්කඳු සේදී යාම සහ ගල් පෙරළීමේ දැඩි අවදානමක් මතුව තිබේ. විශේෂයෙන්ම පසුගිය වසරේ ඇතිවූ ‘දිට්ඨා’ සුළි කුණාටුවත් සමග නායයාමේ ලක්ෂණ මතු වූ ප්‍රදේශවල ස්ථාන නැවත සක්‍රීය වී අවදානම් තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මේ වන තෙක් දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් බරපතල නායයාමේ සිද්ධියක් වාර්තා වී නොමැති බවද නිලධාරීන් වැඩිදුරටත් තහවුරු කර සිටී.

මේ අතර, පස්කඳු කඩා වැටීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම්, පොළොවේ පැලුම් ඇතිවීම වැනි නායයාමේ මූලික ලක්ෂණ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. යම් හදිසි නායයාම් ලක්ෂණයක් නිරීක්ෂණය වන්නේ නම් වහාම එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසත්, ඒ පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හෝ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාලය දැනුවත් කර අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගන්නා ලෙසත් අදාළ සංවිධානය වැඩිදුරටත් උපදෙස් දෙයි.

Author

Related Posts