අනුර ජනපති වීමෙන් පසු මාලිමාවේ ජාතික විධායක සභාව රැස්වී නෑ

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වූ 2024 සැප්තැම්බර් 23 පසු මෙතෙක් රැස්වී නැති බව වාර්තාවේ.

ජාතික ජන බලවේගය විසින් අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නැති තත්වය තුළ තමා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවට ජාතික ජන බලවේගයේ උප ලේකම් ලෙස කටයුතු කරන එහි ජාතික විධායක සභා සාමාජික අධිනීතිඥ ලාල් විජේනායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමේදී ජාජබ ජාතික විධායක සභාව නියෝජනය කරන ඉහළ නිලධාරියකු ඒ බව තහවුරු කළේය.

ලාල් විජේනායක මහතා විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඔහුගේ විරෝධය මේ වනවිට ප්‍රසිද්ධියේම පළකර ඇති අතර ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය කිසිඳු තීරණයක් ගෙන නැති බවද ප්‍රකාශ කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචිය අනුව ජාතික ජන බලවේගයේ නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කරන අතර එහි ලේකම් ලෙස වෛද්‍ය නිහාල් අබේසිංහ කටයුතු කරයි. එරංග ගුණසේකර භාණ්ඩාගාරික වන අතර අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හා අධිනීතිඥ ලාල් විජේනායක උප ලේකම්වරු ලෙස කටයුතු කරති.

Author

Related Posts