අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම නොකළ යුතු බවට ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් දුරකතන ඇමතුමක් ලබාදී ඇමති ලාල් කාන්ත එම කරුණ ගැන නිහඬව සිටින ලෙස තමාට දැනුම් දුන් බව ජාතික ජන බලවේගයේ උප ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක ඩේලි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.
එසේ නිහඬව සිටින ලෙස කී අවස්ථාවේදී අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ අයකු ලෙස එයට බලපෑම් කරන දෙයකට එරෙහිව සටන් නොකර ඉන්නේ කෙසේදැයි පෙරළා පිළිතුරු දුන් බවද ලාල් විජේනායක මහතා එහිදී පවසයි.
දුරකතනයෙන් දීර්ඝ ලෙස කතා කිරීමට අකමැති වූ හෙයින් තමාගේ ස්ථාවරය පැහැදිලි කරමින් ලාල් කාන්ත ඇමතිවරයාට ලිපියක් යැවූ බවද, එමෙන්ම පක්ෂ නායක ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකට, ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ඇතුළු තවත් කිහිප දෙනෙකුට එහි පිටපත් යැවූ බවද ඔහු කියයි.
ඉන්පසු ඔවුන් රැස්වීමක් කැඳවූ බවද, ඔහු ඊට සහභාගි වූ බවද, තමාට කියන්නට ඇති දෙය කියන ලෙස ඔවුන් ඉල්ලා සිටි බවද, ඒ අනුව ලිපියේ ඇති දෙය පැහැදිලි කළ බවද, ඉන්පසු ජනාධිපතිවරයා විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අවශ්‍ය වීමට හේතු හා තර්ක ඉදිරිපත් කළ බවද, ජනාධිපතිවරයා ඇතැම් නීතිමය විධිවිධාන මෙන්ම නීති පද්ධතියේ ඇතැම් පැති විවේචනය කළ බවද ලාල් විජේනායක මහතා එම සාකච්ඡාවේදී පවසයි.
ඉන්පසු ඒ සම්බන්ධයෙන් ඔවුන් තීරණයක් නොගත් බවද, ආර්ථිකය වැනි වෙනත් කරුණු සාකච්ඡා කිරීමට යොමුවුණ බවද, එම රැස්වීම ඉන්පසු අවසන් වූ බවද ලාල් විජේනායක මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
