චීන ජාතිකයා මැරූ සැකකරුවන් 8ක් හඳුනාගනී! දෙන්නෙක් කටුනායකදී අත්අඩංගුවට!

චීන ජාතිකයාගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අට දෙනෙකු පොලිසිය විසින් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ් යූ වුට්ලර් මහතා පවසයි.

අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවට සංචාරක සහ ව්‍යාපාරික වීසා යටතේ පැමිණි විදේශිකයෙකු පහරදීමකට ලක්ව ඝාතනය වීමේ සිදුවීමට අදාළව මේ වන විට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වන බවයි.

මෙම විමර්ශන කටයුතු සඳහා චීන තනාපති කාර්යාලය සහ ජාත්‍යන්තර පොලිසිය පූර්ණ සහයෝගය ලබාදෙන අතර මියගිය චීන ජාතිකයාගේ මෘතදේහය චීන තනාපති කාර්යාලය හරහා නැවත එම රටට පිටත් කර හැරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනා අතුරින් චීන ජාතිකයින් දෙදෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව  එෆ් යූ වුට්ලර් මහතා සඳහන් කළේය.

ඔවුන් ලබන අගෝස්තු මස 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගත කර ඇති අතර එදිනට පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු පැවසූහ.

මෙම ඝාතනයට සම්බන්ධ තවත් චීන ජාතිකයින් තිදෙනෙකු සිද්ධිය වූ සැනින්ම මෙරටින් බැහැරව ගොස් ඇති අතර අත්අඩංගුවට පත්වීම මගහරිමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අනෙක් සැකකරුවන් තිදෙනා සෙවීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන බව පොලුස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහු පවසන්නේ, රටින් පිටව නොගිය සැකකරුවන්ට එරෙහිව විදේශ ගමන් තහනම් ලබාගෙන ඇති බවයි.

සංචාරක හෝ ව්‍යාපාරික වීසා මත මෙරටට පැමිණ වීසා කාලය ඉක්මවා රැඳී සිටිමින් සයිබර් ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි නීති විරෝධී කටයුතුවල නිරත වන විදේශිකයන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

මීට පෙරද චීනය, ඉන්දියාව සහ කාම්බෝජය වැනි රටවල සිට පැමිණි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට කටයුතු කර තිබුණී.

එබැවින් තම නිවාස, හෝටල් හෝ වාණිජ ගොඩනැගිලි කුලියට දීමේදී සැකකටයුතු විදේශිකයන් සිටී නම් ඒ පිළිබඳව වහාම ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් දැනුම්දුන්නේය.

Author

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading