ව්‍යවස්ථා සංශෝධනය, අල්ලස් හෝ දූෂණ පනතේ තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය කරන ක්‍රියාවලියක් – දයාසිරි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් අද දින (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් මෙම තීරණය, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ වරදක් බව දයාසිරි ජයසේකර මහතා සිය පැමිණිල්ල මගින් පෙන්වා දෙයි.

ඇත්ත වශයෙන්ම මෙය 2023 අංක 9 දරන අල්ලස් හෝ දූෂණ පනතේ තිබෙන ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය කරන ක්‍රියාවලියක්. විශේෂයෙන්ම අපි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුළු කොමසාරිස්තුමන්ලාගෙන් ඉල්ලීමක් කරන්න තමයි අද ආවේ. විශේෂයෙන්ම අල්ලස් හෝ දූෂණ පනතේ 42 වෙනි වගන්තිය යටතේ මේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම අයගෙන් කටඋත්තර ලබාගෙන, ඒ වගේම එය සකස් කරපු අයගෙන් කටඋත්තර ලබාගෙන, අල්ලස් හෝ දූෂණයට විරුද්ධව මේ පනත යටතේ ඔවුන්ට විරුද්ධව අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න කියන ඉල්ලීම තමයි අපි මෙතනදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන කාරණය.

විශ්‍රාම වයස දීර්ඝ කිරීම මගින් විනිසුරුවරුන්ට තවත් වසර දෙකක කාලයක අතිරේක වාසි ලබා දීම සිදුවන අතර, මෙය ඔවුන්ගේ ස්වාධීන තීන්දු තීරණ ගැනීමට බලපෑම් කළ හැකි සන්තෝෂමක් ලෙස සැලකිය හැකි බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.

අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් රජයේ නිලධාරීන් ලෙස සැලකෙන බැවින්, විනිසුරුවරුන්ට නොමනා හෝ නීති විරෝධී වාසියක් අත්කර දීමට අදාළ කැබිනට් තීරණයට සහභාගී වීම මගින් ඔවුන් දූෂණ වරදක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ හේතුවෙන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 42 වැනි වගන්තිය ප්‍රකාරව මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පවත්වා, විධිමත් හා පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස දයාසිරි ජයසේකර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ, ඒ වගේම අභියාචනාධිකරණයේ, මහාධිකරණයේ සහ අධිකරණ සේවයේ නියුතු කිසියම් කෙනෙකු සඳහා හෝ විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධව කිසියම් දෙයක් කරගැනීම සඳහා හෝ කිසියම් දෙයක් නොකර හැරීම සඳහා යම්කිසි ප්‍රතිලාභයක් ලබාදෙන, නැත්නම් වාසියක් ලබාදෙන කිසියම් කාරණයක් සිද්ධකරන කෙනෙකු අල්ලස් ලබාදීමේ මේ පනතේ 100 වෙනි වගන්තියට ඇතුළත් වෙනවා. ඒ වගේම එය ලබාගැනීම සඳහා ක්‍රියා කරනවා නම් යම්කිසි කෙනෙක්, එයත් ඒ වගන්තිය යටතේ අනිවාර්යයෙන්ම වරදක් බවට පත්වෙනවා.

වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අල්ලස් පනතේ 93, 100, 104 සහ 111 යන වගන්තිවලට අනුව මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ සම්පූර්ණ බලතල කොමිෂන් සභාව සතුව පවතින බවයි.

රජය විසින් මෙවැනි වාසියක් ලබාදීමේ අරමුණින් කටයුතු කරන විට, එම පනත් කෙටුම්පත සම්බන්ධ නඩු විභාගවලට සහභාගී වන විනිශ්චයකාරවරුන්ට ද යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වන බවත්, එය තමන්ට වාසි වන ක්‍රියාදාමයකට සම්බන්ධ වූවාද යන ප්‍රශ්නය මතුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මෙම කෙටුම්පත සකස් කිරීමට සහ අනුමත කිරීමට සම්බන්ධ වූ ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු සියලු දෙනාම මේ යටතේ වරදකරුවන් වන බව පැවසූ දයාසිරි ජයසේකර මහතා, අල්ලස් කොමිසමේ සභාපතිවරයා, කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේ අදාළ සාක්ෂි හා තොරතුරු ලබාගෙන වහාම පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ 42 වැනි වගන්තිය යටතේ මෙම විමර්ශනය අවසන් වන තෙක්, අදාළ කැබිනට් පත්‍රිකාව හරහා විනිසුරුවන්ගේ කාලය දීර්ඝ කිරීමට යන ඉදිරි ක්‍රියාවලිය වහාම අත්හිටුවීමට කටයුතු කරන ලෙස ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

කොමිෂන් සභාව වෙත භාරදුන් පෙත්සමට අනුව ඉදිරියේදී සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

Author

1 Comment

  • pls avoid wasting time by giving publicity for Dayasisri’s statemts, he is recognise as a joker by the public

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading